අධිකරණ ඇමැතිගෙන් ජනපතිට නිර්දේශ
නිමන්ති රණසිංහ
වයස්ගත සහ දුර්වල සිරකරුවන් විශේෂ වෛද්‍ය පරීක්ෂණයකින් හඳුනාගෙන නිදහස් කිරීමේ වැඩපිළිවෙළක් ළඟදීම අරඹන බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ‘ඉරිදා ලංකාදීප’යට පැවැසීය.
ඒ පිළිබඳ ලැයිස්තු සකසා ජනාධිපතිවරයාගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව පැවසූ අමාත්‍යවරයා එවැනි පුද්ගලයන් දොළොස් දෙනෙකුගේ නම් ජනාධිපතිවරයාට යැවීමට පියවර ගෙන ඇතැයිද සඳහන් කළේය.
මේ අතර මරණීය දණ්ඩනය නියමව සිටින සහ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින සිරකරුවන්ටද නිදහස ලබා ගැනීමේ වැඩපිළිවෙළක් අරඹා ඇතැයි අමාත්‍යවරයා කීවේය.
මේ අනුව මරණීය දණ්ඩනයට නියම වී සිටින පුද්ගලයන්ට අවුරුදු දහයකට පසු යහපත් කල් ක්‍රියාව මත ඔවුන්ගේ එම දඬුවම ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් බවට පරිවර්තනය කිරීමට කටයුතු කෙරේ. ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින සිරකරුවන් වසර 10කින් පසු ඔවුන්ගේ එම දඬුවම අවුරුදු විස්සක් දක්වා පරිවර්තනය කර අනතුරුව වසර 13කින් පසු නිදහස්වීමේ අවස්ථාව උදා කර දෙන බවද විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට විශ්‍රාමලත් විනිශ්චකාර සුනිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කර ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
වයස්ගත සහ දුර්වල මට්ටමේ සිරකරුවන් විශාල පිරිසක් රටපුරා බන්ධනාගාරවල සිටින බවට තොරතුරු අනාවරණය වීමෙන් පසු අමාත්‍යවරයා මෙම පියවර ගෙන ඇත.