අයි.එම්.එෆ්. කොන්දේසි ගැන තවත් තීරණාත්මක සාකච්ඡාවක් ඇමෙරිකාවේදී


දයාසීලි ලියනගේ  

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ඉදිරිපත් කර ඇති කොන්දේසි ක්‍රියාත්මක කරනු ලබන ආකාරය පිළිබඳව විමසා බැලීමේ තීරණාත්මක සාකච්ඡාවක් හෙට (10) සිට 16 වැනිදා දක්වා ඇමෙරිකාවේ වොෂින්ටන්හිදී පැවැත්වීමට නියමිතය.


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අර්ධ වාර්ෂික රැස්වීම මෙහිදී පැවැත්වෙන අතර එයට ශ්‍රී ලංකාවට ලබාදී ඇති කොන්දේසි ක්‍රියාත්මක කිරීම පිළිබඳව මූලික ස්ථානය ලබාදී ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේ රටේ ක්‍රියාත්මක කිරීමට යන සැලැස්ම පිළිබඳව පැහැදිලි කිරීමට මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරුන් හා තමන් වොෂින්ටන් සාකච්ඡාවට සහභාගි වන බවයි. 

 
මින් ඉදිරියට කිසිම රාජ්‍ය ආයතනයක් පවත්වාගෙන යාමට රජයෙන් මුදල් නොදීමට තීරණය කර ඇති අතර, ප්‍රධාන රාජ්‍ය ආයතන 52 අතරින් ආයතන 5ක් ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු යොදා තිබෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පෙන්වා දෙන බවද ඇමැතිවරයා කීය.


මීට අමතරව ඉදිරිපත් කර ඇති කොන්දේසිවලට අදාළ වැඩ කටයුතුවල ඇගයීමක් ඉදිරිපත් කරන බව ද ඔහු කීය.  


ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 330 ක මුදලක් මේ වන විට ශ්‍රී ලංකාවට ලබාදී ඇති අතර, එකඟතාවට අනුව තවත් මිලියන 2670 ක් ඉදිරියේදී ලබා ගැනීමට නියමිතව ඇත.