අයි.එම්.එෆ්. සල්ලි ලැබෙනතුරු “හයිවේ” තුනක වැඩ නෑ


ඝනකමට කාපට් කිරීමත් නවත්වයි

සුජිත් හේවාජුලිගේ   

මුදල් නොමැතිකම හේතුවෙන් අධිවේගී මාර්ග තුනක ඉදිකිරීම් තාවකාලිකව නතර කිරීමට සිදුව ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් මහතා ‘ඉරිදා ලංකාදීප’යට පැවැසීය.

මෙසේ නතර වී ඇත්තේ රුවන්පුර අධිවේගී මාර්ගය, මධ්‍යම අධිවේගී මාර්ගයේ දඹුල්ල කොටස සහ නුවර කොටස්වල ඉදිකිරීම්ය.   


මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ ඉදිකිරීම් කටයුතු ඉතා සෙමින් කරගෙන යන බවත් එහි වැඩ කටයුතුද සක්‍රිය වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් ලැබුණු පසුව බවත් ඔහු සඳහන් කළේය.   


මේ අතර මුදල් ප්‍රශ්න හේතුවෙන් මාර්ග ඝනකමට කාපට් ඇතිරීමද නතර කරනු ලැබ ඇතැයි වීරකෝන් මහතා සඳහන් කළේය.   
එසේම මාර්ගයක කාපට් කරන දුර ප්‍රමාණද අඩු කර ඇත.   


මේ අතර මාර්ග ඉදිකිරීමට අවශ්‍ය අමුද්‍රව්‍යවල මිල අහස උසට නැග ඇති බවත් ආර්ථික තත්ත්වය හේතුවෙන් ඉදිකිරීම් අමුද්‍රව්‍ය විදේශයෙන් ගෙන්වීමද නතර කර ඇති බවත් මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.   


රටපුරා මාර්ග බොහොමයක් නිසි පරිදි නඩත්තු නොකිරීම නිසා අබලන් තත්ත්වයට පත්ව ඇතැයි වාර්තා වේ.