අලි වැට මුරට සිවිල් ආරක්ෂකයෝ 4500 ක්


අවුරුද්දක වියදම කෝටි 500 යි

අජන්ත කුමාර අගලකඩ

වන අලි ගම්වැදීම  වැළැක්වීම සඳහා ඉදිකර ඇති අලි වැටවල් ආරක්ෂා කිරීමට සිවිල් ආරක්ෂක බළකායේ හාරදහස් පන්සියයක් පමණ යොදවනු ලැබ ඇතැයි වැඩබලන ආරක්ෂක ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ‘ඉරිදා ලංකාදීප’යට පැවසීය.

මීට අමතරව, බහුකාර්ය සේවා   බළකායේ ද 4500ක් පමණ අලි වැටවල් ආරක්ෂා කිරීමට  යොදවා ඇතැයි හෙතෙම කීවේය. එම පිරිසට වැටුප් ගෙවීම සඳහා වසරකට රුපියල් කෝටි පන්සියයක් පමණ වැය වන බව ද හෙතෙම සඳහන් කළේය.


අලි වැටවල් ද රජයේ වියදමින් ඉදිකර, ඒවා බලා ගැනීමට මෙතරම් විශාල මුදලක් යොදවා ආරක්ෂකයන්  යෙදවීම ගැටලු‍වක්  බව කී තෙන්නකෝන් මහතා අලිවැටවල් ඉදි කළ ද, වන අලින් ගමවැදීම සහ  අලි මිනිස් ගැටුම් අඩු වී නොමැති බවද ප්‍රකාශ කළේය. එබැවින් මේ සඳහා  විකල්ප ක්‍රියාමාර්ග ගත යුතු කාලය එළඹ ඇතැයි ද ඔහු කීවේය.
මේ අතර, සිවිල් ආරක්ෂක බළකායේ ආරක්ෂකයන් දෙදහස් පන්සියයක් පමණ ආගමික ස්ථානවල  ආරක්ෂාවට යොදවා ඇතැයි වැඩ බලන ආරක්ෂක ඇමතිවරයා සඳහන් කළේය. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ තිස්තුන් දහසක  පමණ පිරිසක් සේවය කරති.