ආණ්ඩුකාරවරුන් 4 දෙනා ඉවත් නොවුණොත් වැඩ වරදී


අංජුල මහික වීරරත්න

ධුරවලින් ඉවත් වෙන්නැයි ජනාධිපති කාර්යාලයෙන් දැනුම් දී ඇති පළාත් ආණ්ඩුකාරවරුන් සිව්දෙනා ඉල්ලා අස් නොවුණහොත් ඔවුන් ජනාධිපතිවරයාගේ නියෝජිතයන් ලෙස නොසලකන ලෙස රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දීමට නියමිතව ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි සඳහන් කරයි.

ඊට අමතරව මෙම ආණ්ඩුකාරවරුන්ගේ වැරදි ක්‍රියා කලාපය සම්බන්ධයෙන් විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් පත්කොට ආණ්ඩුකාරවරුන් චෝදනාවලට වැරදිකරුවන් ලෙස නම් කොට ඉවත් කිරීම, වෙනත් පුද්ගලයන් ආණ්ඩුකාර ධුරයන්ට පත් කිරීම සහ ඉවත්වන්නැයි දැනුම් දෙන ලද ආණ්ඩුකාරවරුන්ට මුදල් ප්‍රතිපාදන නොදීම යන ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව ද ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව ඇත.


ඉවත්වන ලෙස දැනුම් දෙන ලද අදාළ ආණ්ඩුකාරවරුන් ඉවත් වීමට සූදානමක් නැතැයි මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙන බැවින් ඊට අදාළව ගතයුතු පියවර මෙසේ සාකච්ඡා කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.


නැගෙනහිර, උතුර, සබරගමුව හා වයඹ පළාත්වල ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වෙන ලෙස ජනාධිපති කාර්යාලය දැනුම් දී තිබිණි. ජනාධිපතිවරයකු ඉවත් වී නව ජනාධිපතිවරයෙකු පත් වූ විට ආණ්ඩුකාරවරු ඉවත්වීම සාමාන්‍ය සම්ප්‍රදාය බවත් එය අගමැති ඉවත් වූ විට ඇමති මණ්ඩලය අහෝසි වීමට සමාන බව ජනාධිපති කාර්යාලයේ  ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.


එහෙත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත් වූ පසු ඉහත සම්ප්‍රදාය ඉටුකරමින් ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස් නොවූ නිසා ඔවුන් ස්වෙච්ඡාවෙන් ඉල්ලා අස්වෙන තෙක් ජනාධිපතිවරයා කාලයක් බලා සිටි බව ජනාධිපති කාර්යාල ප්‍රකාශකයා සඳහන් කළේය.