උපුල් වික්‍රමසිංහ
ආදි ශිෂ්‍ය සංගම්වලට පාසල්වල ඉගෙන ගන්නා දරුවන්ගෙන් මුදල් එකතු කිරීම තහනම් කර තිබුණ ද ඇතැම් පාසල්වල පවත්වනු ලබන ආගමික උත්සව, පාගමන්, පොළ ආදී විවධ උත්සව වෙනුවෙන් එම සංගම් හා පාසල් මට්ටමින් පිහිටුවා ඇති නොයෙක් සංගම් මුදල් එකතු කරන සිදුවීම් නිතර වාර්තා වෙන බව ලංකා ගුරු සංගමය පවසයි.
එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් ඉරිදා ලංකාදීපයට සඳහන් කළේ, ඇතැම් පාසල්වල ආදි ශිෂ්‍ය සංගම්, දරුවන් පළමු ශ්‍රේණියට ඇතුළු කිරීම සඳහා එම සංගම්වල ගිණුම්වලට මුදල් බැර කරන ලෙසත්, මුදල් ගෙවා ආදි ශිෂ්‍ය සංගම්වල සාමාජිකත්වය ලබා ගන්නා ලෙසත් මවුපියන්ට දැනුම් දෙන බවය. මේ තත්ත්වය කොළඹ දිස්ත්‍රික්කයේ පාසල්වල වැඩි වශයෙන් දැක ගන්නට ලැබෙන බව ද ඔහු කීවේය.
මේ අතර, සමහර පාසල් උත්සව වෙනුවෙන් ඒවායෙහි ඇති ශාලා පහසුකම් යොදා ගන්නවා වෙනුවට, ඉතා ඉහළ මුදලක් වැය කරමින් කොළඹ නෙළුම් පොකුණ රඟහල, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව (BMICH) ආදී ස්ථාන යොදා ගන්නා බවත්, ඒවායෙහි පැවැත්වෙන උත්සව නැරඹීමට දරුවන්ගේ මවුපියන්ට වැඩි මුදලක් වැය කර ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට සිදු වෙන බවත් කී හෙතෙම, මවුපියන්ට අධික බරක් පැටවෙන මෙවැනි ක්‍රියාකාරකම් පාසල් පද්ධතියෙන් තුරන් කිරීමට පියවර ගත යුතු බව ද අවධාරණය කළේ ය.
අප මේ සම්බන්ධයෙන් විමසීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ විය.