ඇස් රෝහලේ අක්ෂි කාච හිඟයෙන් රෝගීන්ට දැඩි දුෂ්කරතා


සාමාන්‍ය කාච තියෙනවා. පිටින් ගේන්න කිව්වොත් මට කියන්න

- රෝහල් අධ්‍යක්ෂ

උපුල් වික්‍රමසිංහ
කොළඹ ජාතික අක්ෂි රෝහලේ පවතින අක්ෂි කාච හිඟය හේතුවෙන් අක්ෂි කාච බද්ධ කර ගැනීම සඳහා දුර බැහැර ප්‍රදේශවල සිට පැමිණෙන රෝගී ජනතාව දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී ඇතැයි ඉරිදා ලංකාදීපයට වාර්තා වෙයි.
අක්ෂි කාච සායනවලට පැමිණෙන රෝගීන් කිහිපදෙනකු ඉරිදා ලංකාදීපයට පැවසුවේ තමන් මාස ගණනක් අක්ෂි සායනවලට සහභාගී වීමෙන් පසු අක්ෂි කාච බද්ධ කිරීම සඳහා දින ලබා දිය යුතු වුව ද පවතින අක්ෂි කාච හිඟය නිසා දින ලබා නොදෙන බවත් මාසයකින් හෝ දෙකකින් හෝ පසුව රෝහලට පැමිණ අක්ෂි කාච තිබේදැයි විමසා සිටින ලෙස වෛද්‍යවරුන් දැනුම් දෙන බවත්ය. 


මේ අතර ඇතැම් රෝගීන් චෝදනා කරන්නේ රෝහල් කාර්ය මණ්ඩලයේ සමහර සේවකයන් ඔවුන්ගේ හිතවතුන් පොරොත්තු ලේඛනයෙන් ඉවත්කර අක්ෂි කාච බද්ධ කිරීමේ සැත්කම් සඳහා කලින් දින වෙන් කරවා දෙන බවය.
පවතින අක්ෂි කාච හිඟය සම්බන්ධයෙන් ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය තවුෆික් ගෙන් කළ විමසීමකදී ඔහු පෙන්වා දුන්නේ සාමාන්‍ය අක්ෂි කාචවල හිඟයක් නැති බවත් ඒවා ලැබෙමින් තිබෙන බවත්ය. සාමාන්‍ය කාච පිටින් රැගෙන එන ලෙස දැනුම් දුන හොත් හෝ ඒ වෙනුවෙන් මුදල් ඉල්ලා සිටිය හොත් ඒ සම්බන්ධයෙන් තමාට පැමිණිලි කරන ලෙස ද අධ්‍යක්ෂවරයා රෝගීන්ගෙන් ඉල්ලා සිටියි.