ඉන්දීය අගමැති මෝදිගේ මව කලුරිය කරයි


ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මව වන හීරාබෙන් පෙරේද‌ා (30) අලුයම මියගියාය.


බටහිර ගුජරාට් ප්‍රාන්තයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගිය අතර ඒ වන විට ඇගේ වයස අවුරුදු 99ක් විය.

මහිමාන්විත ශතකයක් දෙවියන්ගේ පාමුල රැදුණු බව සිය මවගේ අභාවය වෙනුවෙන් ට්ව්ටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.


ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මවගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වීමෙන් පසු ලෝක නායකයන් රැසක් ඇයට සුවය පතා පණිවුඩ නිකුත් කර තිබුණි.


සිය හැවිරිදි හීරාබෙන්, පසුගිය දා රෝහල්ගත කෙරුණේ වයසත් සමඟ ඇතිවුණු රෝගාබාධ හේතුවෙනි.


නවදිල්ලියේ රාජකාරිවල නියැළෙමින් සිටි, අග්‍රාමාත්‍ය මෝදි කඩිනමින් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අහ්මදාබාද් බලා පිටත්ව ගිය බවත් රාජකාරි කටයුතු වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදු කරන බවත් පවසා තිබිණි.


මියයන තුරුම ඇය ජීවත් වූයේ තම බාල පුත්‍රයා වන පංකජ් සමග ගාන්ධි නගර්හිය. අගමැති ​මෝදිගේ බාල සොහොයුරා වන පංකජ් ගුජරාටි රජයේ විශ්‍රාමික නිලධාරියෙකි.
ඉන්දියාවේ මුදල් අවභාවිතය වැළැක්වීමේ අරමුණින් එරට රුපියල් 500 හා දහසේ නෝට්ටු අවලංගු කිරීමට ඉන්දීය රජය ඉකුත්දා පියවර ගත් අතර එම නෝට්ටු අලු‍ත් ඒවාට මාරු කරගැනීමට එන පිරිස්වලින් සැදි දිගු බැංකු පෝලිම් ද දක්නට ලැබිණි.


එම පෝලිමක සිටි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ මව ද ඉන්දීය පුවත් සේවාවල ජනප්‍රිය ඡායාරූපයක් බවට පත්විය.