කොමිෂන්වලට එන අලුත් කට්ටිය ගැන හොයන්න බුද්ධි කණ්ඩායම්


සුජිත් හේවාජුලිගේ   

මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා සඳහා පත් කිරීමට අපේක්ෂා කෙරෙන පුද්ගලයන්ගේ කටයුතු සහ චර්යාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා බුද්ධි අංශ වාර්තා කැඳවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව තීරණය කර ඇත.

බුද්ධි අංශ වාර්තා මෙසේ කැඳවන්නේ එම පුද්ගලයන්ට එරෙහිව දූෂණ වංචා සහ අක්‍රමිකතා චෝදනා ඇත්දැයි සොයා බැලීමේ අරමුණින් බව පාර්ලිමේන්තුවේ නිලධාරියෙක් පැවැසීය.   


මෙයට අමතරව පත් කිරීමට අපේක්ෂා කරන කොමිෂන් සභා සමග සහ ඒවායේ නිලධාරින් සමග ඔවුන් යම් යම් පෞද්ගලික ගනුදෙනු සහ සබඳතා පවත්වන්නේද (Complict of intrest) යන්නද එමගින් සොයා බැලෙනු ඇත. ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත් කිරීමට අයදුම්පත් බාර ගැනීම පසුගිය 15 වැනිදායින් අවසන් විය.   
එම අයදුම්පත් පරීක්ෂා කිරීමේ කටයුතු මේවනවිට ආරම්භවී ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ඉරිදා ලංකාදීපයට පැවැසීය.   


කෙසේ වෙතත් කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත් කිරීමට තවත් සති කිහිපයක් ගත වනු ඇතැයි ද එම නිලධාරියා සඳහන් කළේය. ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් ලෙස පත්වීමට අයදුම්පත් සියයකට ආසන්න සංඛ්‍යාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට දැනට ලැබී ඇත.