කොමිෂන්වලට එන්න අයැදුම්පත් 70ක්


අයැදුම්පත් බාරගැනීම 15න් අවසන්

සුජිත් හේවාජුලිගේ

මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභාවල සාමාජික පුරප්පාඩු සඳහා අයදුම්පත් හැත්තෑවකට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. අයැදුම්පත් බාර ගැනීමේ කාලය ලබන 15 වැනිදායින් අවසන් වේ. 

තවත් අයදුම්පත් රාශියක් ලබන 15 වැනිදා වනවිට ලැබෙනු ඇතැයි පාර්ලිමේන්තු ප්‍රධානීහු විශ්වාසය පළ කරති.   


අයදුම්පත් යොමු කිරීම සඳහා විවිධ විමසීම් දිනපතා සිය ගණනක් ලැබෙන බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.   


අලුතින් පත් කිරීමට නියමිත සෙසු කොමිෂන් සභා වන්නේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, පොලිස් කොමිෂන් සභාව, විගණන කොමිෂන් සභාව, ප්‍රසම්පාදන කොමිෂන් සභාව, සීමා නිර්ණ කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, මානව හිමිකම් කොමිෂන් සභාව සහ අධිකරණ සේවා කොමිෂන් සභාවයි.   
අයදුම්පත් කැඳවීම පිළිබඳ පුවත්පත් දැන්වීම් මේ සති අන්ත පුවත්පත්වල පළ කිරීමටත් අයදුම්පත් කැඳවීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව තීරණය කර ඇත.