ඡන්දය කල් දැමීමට, විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව මැතිසබයේ ලබන සතියේ ලොකු අරගලයක්


සුජිත් හේවාජුලිගේ   

පළාත්පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව ලබන සතියේ පාර්ලිමේන්තුව තුළ දැඩි සටනක් කිරීමට සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය සහ නිදහස් ජනතා සන්ධානය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක් තීරණය කර ඇත.

මේ හේතුවෙන් පාර්ලිමේන්තු රැස්වීම් ලබන සතියේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.   


මේ අතර පළාත් පාලන ඡන්දය කල් දැමීම, විදුලිය බිල ඉහළ දැමීම ඇතුළු ප්‍රශ්න ගණනාවක් මතුව ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුව හැකි ඉක්මනින්ම කැඳවන ලෙස නිදහස් ජනතා සන්ධානය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය යන දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන් 35 දෙනකු කතානායකවරයාට සහ අගමැතිවරයාට ලිපියක් යොමු කරමින් දැනටමත් ඉල්ලීමක් කර ඇත.   


පාර්ලිමේන්තුව පෙර තීරණය කරගත් පරිදි රැස්වීමට නියමිතව ඇත්තේ ලබන 21 වැනිදා අඟහරුවාදාය.   


මේ සම්බන්ධයෙන් අප රජයේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමක දී ඔහු පැවසුවේ පාර්ලිමේන්තුව ලබන සතියේ රැස්වන හෙයින් හදිසියේ රැස්වීමේ අවශ්‍යතාවක් නැති බවයි.