ජනතාව ගැන කලකිරිලා පොහොට්ටුවේ හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් ඡන්දයට නෑ


සුජිත් හේවාජුලිගේ   

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන හිටපු මන්ත්‍රීවරුන්ගෙන් සියයට 20 කට ආසන්න පිරිසක් විවිධ කලකිරීම් හේතුවෙන් ඉදිරි මැතිවරණයේදී තරග නොවැදීමට තීරණය කර ඇතැයි ඒ පක්ෂ ආරංචි මාර්ගවලින් පැවසේ.

අරගලය පැවති අවස්ථාවේදී ජනතාව ක්‍රියා කළ ආකාරය ගැන ඇතැම් හිටපු මන්ත්‍රීවරුන්ගේ දැඩි කලකිරීමට හේතුවී ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.   


මෙයට අමතරව විවිධ චෝදනාවලට ලක්වූ පළාත් පාලන හිටපු මන්ත්‍රීවරුන් පිරිසකට නාමයෝජනා නොදීමට එම පක්ෂය තීරණය කර ඇතැයිද වාර්තා වේ.   


නාමයෝජනා නොදෙන හිටපු මන්ත්‍රීවරුන් අතර අරගලයට සම්බන්ධවී මහින්ද රාජපක්ෂ මහතා විවේචනය කළ කිහිප දෙනෙක්ද වෙති.   


අම්පාර දිස්ත්‍රික්කයේ කලකිරීමට ලක් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන නියෝජිතයන් පහළොස් දෙනෙකු පමණ ඉදිරි මැතිවරණයට තරග නොවදින බව එම පක්ෂ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.   
පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා කැඳවීමේ මූලික කටයුතු මේ වනවිට ආරම්භවී ඇත.