ජනතාවට දෙන සහන ගැන ප්‍රචාරයක් නොගැනීම වරදක්


ආණ්ඩුවේ මන්ත්‍රීවරු පිරිසක් ජනපතිට කියති

සුජිත් හේවාජුලිගේ

රජය කරන සංවර්ධන වැඩ ගැන සහ ජනතාවට දෙන සහනාධාර සම්බන්ධයෙන් පුළුල් ප්‍රචාරයක් ලබා නොගැනීම වරදක් බව ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපතිවරයා ඇතුළු රජයේ ප්‍රධානීන්ට කරුණු පෙන්වාදී ඇතැයි වාර්තා වේ.   

ඒ සම්බන්ධයෙන් ප්‍රචාරය ලබාදීමට ලොකු උත්සව අවශ්‍ය නැතත් යම් ආකාරයකින් හෝ ඒ සම්බන්ධයෙන් ප්‍රචාරයක් ලබා ගැනීම වැදගත් බව ඔවුහු පෙන්වා දෙති.   
ආණ්ඩුව බිම් මට්ටමෙන් ලොකු ජනතා සහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බවත් ඒ වැඩ සම්බන්ධයෙන් ප්‍රචාරයක් ලබා නොදීම හේතුවෙන් වෙනත් දේශපාලන පක්ෂ යම් ආකාරයකට ඉස්මතු වෙමින් තිබෙන බවත් ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති. 

 
ආර්ථික අර්බුදය මධ්‍යයේ වුවත් ආණ්ඩුව නොමිලේ පොහොර ඇතුළු සහනාධාර රැසක් ජනතාවට දිගින් දිගටම ලබා දෙමින් සිටින බවද ඒ මන්ත්‍රීවරු වැඩිදුරටත් පෙන්වා දෙති.   
මේ අනුව එම කාරණය සම්බන්ධයෙන් රජයේ ඉහළ බලධාරීන්ගේ අවධානය දැඩි ලෙස යොමුව ඇතැයි දැනගන්නට ඇත.