දිගට හරහට පැමිණිලි ලැබෙන බව රාජ්‍ය ඇමැති වක්කුඹුර හෙළිකරයි
සුජිත් හේවාජුලිගේ
ජනතාවගේ හඬට කන් නොදීම ඇතුළු විවිධ ගැටලු සම්බන්ධයෙන් පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල පරිපාලන කටයුතු බාර ප්‍රධානීන්ට එරෙහිව මහජන පැමිණිලි
දෙසීයකට වැඩි ප්‍රමාණයක් ලැබී ඇතැයි වාර්තා වෙයි.
පළාත් සභා හා පළාත් පාලන ආයතනවල නිල කාලය අහෝසි වී ඇති හෙයින් ඒවායේ පරිපාලන කටයුතු දැනට සිදුවන්නේ ආණ්ඩුකාරවරුන්, කොමසාරිස්වරුන් සහ ලේකම්වරුන් අතිනි.
පළාත් සභා හා පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට (නිලධාරීන්ට) එරෙහිව පැමිණිලි ඉදිරිපත්වීම දිනෙන් දින වැඩිවෙමින් පවතින බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය කියයි.
මේ සම්බන්ධයෙන් අප පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාගෙන් කළ විමසුමක දී පැවසුවේ එවැනි පැමිණිලි ගණනාවක් තමාටද ලැබී ඇති බවයි.
ඇතැම් නිලධාරීන් ජනතාවගෙන් ඈත්වී ඒකාධිපති ස්වරූපයෙන් කටයුතු කරන බවට ජනතාව දැනුම් දී තිබෙන බව හෙළි කළ රාජ්‍ය අමාත්‍යවරයා ජනතාව සමග සමීපව කටයුතු කරමින් ඔවුන්ගේ ප්‍රශ්න විසඳීමට කටයුතු කරන්නැයි ඒ අනුව තමා නිලධාරීන්ට වහා උපදෙස් දුන් බව ද කියයි.
නිලධාරීන් ඒ ආකාරයට ජනතා සේවය පැහැර හරිමින් කටයුතු කරන්නේ නම් ඔවුනට එරෙහිව නීතිමය වශයෙන් ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා පවසයි.
මහජන නියෝජිතයන් සිටි කාල සීමාවේ දී පළාත් පාලන ආයතනවල කසළ ඉවත් කිරීමේ කටයුතු සහ වෙනත් කටයුතු නිසියාකාරව සිදුවූ නමුත් ඇතැම් සභාවල ඒ කටයුතු මේ වනවිට අඩාළවී ඇති බවට මහජන පැමිණිලි ලැබී ඇතැයි ද පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය හෙළි කරයි.
රජයේ වාහන අයථා ලෙස පාවිච්චි කිරීම සම්බන්ධයෙන් ද පළාත් පාලන ආයතනවල ඇතැම් ප්‍රධානීන්ට එරෙහිව පැමිණිලි ඉදිරිපත්ව ඇති බවද ජානක වක්කුඹුර මහතා වැඩිදුරටත් හෙළි කරයි.