ජනපති අපේක්ෂකයන්ට තර්ජන


  • පොලිස්පති වාර්තාවක් කැදවයි

සුජිත් හේවාජුලිගේ
ජනාධිපති අපේක්ෂකයන්ට ඇති තර්ජන සම්බන්ධයෙන් වාර්තාවක් ලබා ගැනීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා තීරණය කර ඇත. ඉදිරි ජනාධිපතිවරණයේදී ජනපති අපේක්ෂකයන්ට ආරක්ෂාව ලබාදිය යුතු ආකාරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා මෙම වාර්තාව කැඳවීමට නියමිත ය. 

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් පසු මෙරට ජනාධිපති අපේක්ෂකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ ඉහළ අවධානය යොමුවී ඇතැයි  වාර්තාවේ. 
විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට ජීවිත තර්ජන ඇතැයි විදෙස් බුද්ධි සේවා අනාවරණය කර ඇති බව සඳහන් කරමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල සහ විපක්ෂ නායකවරයාගේ ලේකම් නීතිඥ තිසත් විජේගුණවර්ධන මහත්වරු පසුගියදා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළහ. මේ අනුව  කතානායකවරයා පොලිස්පතිවරයා කැඳවා ඒ පිළිබඳව  සාකච්ඡා කළ අතර එහිදී පොලිස්පතිවරයා පැවසුවේ තර්ජන සම්බන්ධයෙන් වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරන බවයි.