ජල පරිභෝජනය සියයට 20 කින් ඉහළට මාර්තු මසදී ජලගාස්තුව සියයට 4කින් පහළට


නිමල කොඩිතුවක්කු සහ සුදර්ශනී කෝණාර
රටපුරා පවතින උණුසුම් කාලගුණ තත්ත්වයත් සමග ජල පරිභෝජනය සියයට 20 කින් පමණ ඉහළ ගොස් ඇතැයි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. මේ හේතුවෙන් අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා ජලය පාවිච්චි කිරීමෙන් වැළකී අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවද එහි ප්‍රකාශිකාවක් සඳහන් කළාය.

මේ වනවිට රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල, පැල්මඩුල්ල සහ ඇහැළියගොඩ ප්‍රදේශවල ජල මූලාශ්‍ර සිඳීයෑමේ අවදානමක් පවතින බවත් ඇය පැවසුවාය. 
ජල පරිභෝජනය ඉහළ යාම හා මූලාශ්‍ර සිඳීයාම හේතුවෙන් ජල සැපයුම අඩාළ වීම හෝ නොලැබී යාම සිදුවුවහොත්  ජල බවුසර යොදාගෙන ජලය බෙදා හැරීමට අවශ්‍ය කටයුතු කරන බවද  ඇය සඳහන් කළාය.
ජලය සැපයීමේදී යම් ගැටලු‍වක් මතුවුව හොත් 1939 ට දැනුම්දීමක් සිදුකරන ලෙස ඉල්ලීමක් කරන බවත් ඇය තවදුරටත් කීවාය. එළැඹෙන මාර්තු මාසයේ දී ජල ගාස්තුව සියයට 4කින් පමණ අඩු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ උසස් නිලධාරියෙක් ඉරිදා ලංකාදීපයට පැවසීය.
විදුලි ගාස්තුව සංශෝධනයට සාපේක්ෂව මෙම සංශෝධනය සිදු කරන බවත් ගෘහස්ථ මට්ටමින් වැඩි ප්‍රතිශතයකින් විදුලිය බිල අඩු කිරීමට අපේක්ෂා කරන බවත් පැවසූ ඔහු ගෘහස්ථ, කර්මාන්තශාලාවල සහ ආගමික සිද්ධස්ථානවල ජලය පාවිච්චි කරනු ලබන පළමු ඒකක දහය සඳහා සියයට දහයකින් පමණ සංශෝධනය කර සහනයක් ලබා දීමට සැලසුම් කර ඇති බව ද කීවේය. වෙළෙඳුන්ට ද මෙම සංශෝධනය මගින් සහනයක් ලබා දෙන බව කී හෙතෙම එය සියයට දහයකට වඩා අඩු බව ද හෙළි කළේ ය.