අයි.එම්.එෆ් විවාදයේදී ප්‍රකාශයක්
සුජිත් හේවාජුලිගේ
පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නියෝජනය වන පරිදි ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා විශේෂ ආරාධනයක් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලාපොරොත්තුවෙන් සිටින බව දේශපාලන ආරංචි මාර්ග වලින් පැවසෙයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විස්තීරණ ණය පහසුකම පිළිබඳ විවාදය ලබන සතියේ දින දෙකක් පැවැත්වීමට නියමිත අතර ජනාධිපතිවරයා ඒ විවාදයේ දී එම ඉල්ලීම කරනු ඇතැයි දැන ගන්නට ඇත.
ජනාධිපතිවරයාගේ මේ අදහස ඇතැම් දේශපාලන පක්ෂවලට දැනටමත් දැනුම් දී ඇතැයි පැවසෙයි.
මේ අතර පසුගියදා ප්රවෘත්ති සාකච්ඡාවක දී අදහස් දැක් වූ සමගි ජන බලවේගය පක්ෂයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපතිවරයා ආරාධනයක් කළ යුතු බවයි.
එවැනි අවස්ථාවක පක්ෂයක් ලෙස තීන්දුවක් ගැනීමට නොහැකි නම් කණ්ඩායම් වශයෙන් හෝ තනි පුද්ගලයන් වශයෙන් හෝ තීන්දුවක් ගැනීමට මන්ත්‍රීවරුන්ට අවස්ථාව උදාවන බව ද ඔහු සඳහන් කළේය.
මේ අතර ජන වරමක් නැති ආණ්ඩුවක් සමග සමගි ජන බලවේගය පක්ෂයට කිසිදු ගනුදෙනුවක් නැතැයි එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.
ජාතික ආණ්ඩුව වැඩ පිළිවෙළකට ගියහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මීළඟ ණය වාරිකය ලබා ගැනීමට එය ලොකු පහසුවක් වනු ඇතැයි දේශපාලන සහ ආර්ථික විශේෂඥයන් රජයට කරුණු පෙන්වා දී ඇතැයි වාර්තා වේ.