දෙහිවල සත්වෝද්‍යාන කටුගේ මාස ගාණක් වැහිලා



අමිල චින්තක ගමගේ


දෙහිවල සත්වෝද්‍යානයෙහි තිබෙන කෞතුකාගාරය මාස ගණනාවක සිට වසා දමා තිබෙන බවට ජනතාව චෝදනා කරති. දෙහිවල සත්වෝද්‍යානයට නිවාඩු දිනවල පැමිණෙන දරුවන්ට දැනුම ලබාදිය හැකි හොඳම ස්ථානයක් වන සත්වෝද්‍යාන කෞතුකාගාරය මේ හේතුව නිසා නිෂ්ප්‍රයෝජන තත්ත්වයට පත්ව ඇති බව මව්පියෝ පවසති. 

ඔවුන් චෝදනා නගන්නේ අතීතයේ එහි සතුන් විශාල ප්‍රමාණයක් හිටියත්, දැන් දරුවන්ට පෙන්වීමට සිදුවී තිබෙන්නේ හිස් කූඩු රැසක් බවයි. කෞතුකාගාරය වසා තැබීම සම්බන්ධව සත්වෝද්‍යානයේ ප්‍රකාශකයෙකුගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ අකුණක් වැදීම නිසා කෞතුකාගාරයේ විදුලි බුබුළු විශාල ප්‍රමාණයක් දැවීයෑමෙන් මෙසේ තාවකාලිකව කෞතුකාගාරය වසා තිබෙන බවයි. 

දීර්ඝ කාලයක් කෞතුකාගාරය වසා තිබීම නිසා ජනතාවට සිදුවී තිබෙන අපහසුතාව සම්බන්ධයෙන් සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල් මාරසිංහ මහතාගෙන් ඉරිදා ලංකාදීපය කළ විමසීමේදී ඔහු සඳහන් කළේ කෞතුකාගාරයේ තිබෙන ගොඩනැගිල්ල සත්වෝද්‍යානයේ ඇති පැරණිතම ගොඩනැගිල්ලක් බවයි. 

ගොඩනැගිල්ලේ තිබෙන අබලන් තත්ත්වය හේතුවෙන් මෙසේ තාවකාලිකව කෞතුකාගාරය වසා තැබෙන බව සත්වෝද්‍යාන අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

පසුගිය කාලයේ රටේ පැවති ආර්ථික තත්ත්වය සමග ආණ්ඩුව වියදම් කප්පාදු කර තිබූ නිසා මේ සඳහා මුදල් වෙන්කර ගැනීමට නොහැකි වූ බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.  මේ වන විට සත්වෝද්‍යානයේ ආදායම වර්ධනය වී ඇති නිසා මේ වසර අවසානය වන විට කෞතුකාගාරය විවෘත කර ගැනීමට හැකියාවක් ලැබේ යැයි විශ්වාස කරන බව ද ඒ මහතා සඳහන් කළේය. 

මහජනතාව අවදානමට දැමීම කළ නොහැකි නිසා තවදුරටත් තාවකාලිකව කෞතුකාගාරය වසා තැබීමට සිදුවන බව ද ඔහු සඳහන් කළේය.