දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් ඊපීඑෆ් අරමුදල හිරවෙයි ද?


දයාසීලි ලියනගේ  

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව හා මහා භාණ්ඩාගාරය ඒකාබද්ධව ගෙන ඇති තීරණය නිසා සේවක අර්ථසාධක අරමුදලින් සාමාජිකයන්ට දායක මුදල් ලබා ගැනීමේ දී යම් ප්‍රමාදයක් ඇති විය හැකි බවට මත පළව තිබේ.  

මේ තත්ත්වය ඇතිවීමට හේතු වී ඇත්තේ රජය දේශීය වශයෙන් ලබාගෙන ඇති ණය මුදල් වලින් වැඩිම ප්‍රමාණය වූ සියයට 42.7 ක ප්‍රමාණයක් සේවක අර්ථ සාධක අරමුදලින් ලබා ගෙන තිබීමය. ඒ අනුව සේවක අර්ථසාධක අරමුදලේ තැන්පතුවලින් වැඩි ප්‍රමාණයක් රජයට ණයට ලබා දී ඇති බව මුදල් අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් කීය.  


ඒ තත්ත්වය මත දේශීය ණය ගෙවීම් ප්‍රතිව්‍යුහගත කිරීමට ගෙන ඇති තීරණයට අනුව රජය ලබාගෙන ඇති ණය ආපසු ගෙවීම ප්‍රමාද කෙරෙන අතර එය එක එල්ලේම අර්ථ සාධක අරමුදලට බලපෑමක් වන බව ද කියති.  


දේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 1085.8 ක් බව මුල් අමාත්‍යාංශයේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව සඳහන් කරයි. දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ දී ණය ගෙවීම් කල් දමනවාට අමතරව ණය සඳහා ගෙවන පොලිය අඩු කිරීමට තීරණය කිරීමට හැකියාව ඇති අතර එය ණය ලබාගත් ආයතනවලින් මහජනතාවට ගෙවන ලද පොලියට ද අහිතකර බලපෑමක් එල්ල කරන බව මුදල් අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් කීය.