ඇබෑර්තු දෙසීයක් පුරවා නෑ
සුජිත් හේවාජුලිගේ
රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු දෙසීයකට වැඩි සංඛ්‍යාවක් කලක් තිස්සේ නොපිරවීම හේතුවෙන් ඒවායේ වැඩ කටයුතුවලට විශාල වශයෙන් බාධා මතුව ඇතැයි වාර්තා වේ.
රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 100ක්ද නීතිපති දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 120 ක්ද මෙලෙස පවතින බව අධිකරණ අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ අතර රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්තා සම්බන්ධයෙන් බරපතළ ගැටලු පවතින බවත් පොලීසිය එම දෙපාර්තමේන්තුවට එවා ඇති වාර්තා 3776 ක් අතරින් හෙරොයින් ග්‍රෑම් 5කට වැඩියෙන් අඩංගු සාම්පලවලට අදාළ වාර්තා ඇත්තේ තුනක් පමණක් බවත් අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
පොලිසිය කිසිදු මත්ද්‍රව්‍යයක් අඩංගු නැති සාම්පල 209ක් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට එවා ඇතැයිද මේ එක් සාම්පලයක් පරීක්ෂා කිරීම සඳහා එම දෙපාර්තමේන්තුවට රුපියල් 20,000 ක පමණ මුදලක් වැය වන්නේ යැයිද ඔහු කීවේය.
සමහර පොලිස් ස්ථාන හිතාමතාම මෙවැනි දේවල් එවනවා දැයි සැකයක් මතුවෙන බවද අමාත්‍යවරයා පැවසුවේය.
පොලිසියට නඩුවක් කල් දැමීමට අවශ්‍ය නම් ඔවුන් කරන්නේ සෑම ලිපි ගොනුවක්ම නීතිපති දෙපාර්තමේන්තුවට යැවීම බවත් මේ හේතුවෙන් එම දෙපාර්තමේන්තුවේ ඔරොත්තු නොදෙන ලිපිගොනු සංඛ්‍යාවක් ගොඩගැසී ඇති බවත් ඔහු සඳහන් කළේය.