පහුගිය අවුරුදු හතරේදී කෝටි ලක්ෂයක “සැන් පවුඩර්” ගෙනල්ලා


සුජිත් හේවාජුලිගේ 

ශ්‍රී ලංකාවට පසුගිය වසර හතරේදී (2019, 2020, 2021 සහ 2022) පමණක් රුපියල් කෝටි එක් ලක්ෂ තුන් දහස් තිස් අටක් වටිනා රූපලාවණ්‍ය ද්‍රව්‍ය ගෙන්වා ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසේ. 


මේ රටට 2019 වර්ෂයේදී රුපියල් කෝටි 1192 ක් වටිනා රූපලාවණ්‍ය ප්‍රමාණයක්ද 2020 වර්ෂයේදී රුපියල් කෝටි 782 ක් වටිනා රූපලාවණ්‍ය ද්‍රව්‍ය ප්‍රමාණයක්ද ගෙන්වා ඇත.

එමෙන්ම 2021 වර්ෂයේදී රුපියල් කෝටි එක්ලක්ෂ එක් දහස් දහ තුනක් වටිනා රූපලාවණ්‍ය ප්‍රමාණයක්ද 2022 වර්ෂයේදී රුපියල් කෝටි පනස් දෙකක් වටිනා රූපලාවණ්‍ය ප්‍රමාණයක්ද මෙලෙස ගෙන්වා ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය. 


මෙම සංඛ්‍යාලේඛන මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාද පාර්ලිමේන්තුවේදී පසුගියදා සනාථ කළේය. 


කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සියඹලාපිටිය මහතා පෙන්වා දෙන්නේ 2022 වර්ෂයේ දී රූපලාවණ්‍ය ද්‍රව්‍ය ගෙන්වීම සියයට 95 කින් අඩුවී ඇති බවයි. 
රූපලාවණ්‍ය ද්‍රව්‍ය ගෙන්වීම අඩු කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ රූපශ්‍රීයේ අඩුවීමක් සිදුවී නැතැයි පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා රූපලාවණ්‍ය ද්‍රව්‍ය සියයට 50 ක් ගෙන්වීමට මේ වනවිට අවසරදී ඇතැයිද ප්‍රකාශ කළේය.