ප්‍රේමකීර්ති රණතුංග
පළාත් පාලන නව පනත පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීම සති දෙකකින් පමණ කල් යාම හේතුවෙන් පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මස අග දක්වා කල් යනු ඇතැයි දැනගන්නට ඇත.
පළාත් පාලන මැතිවරණයට එරෙහිව අධිකරණයට ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව පාර්ලිමේන්තුවට හෝ කථානායකතුමාට හෝ ලැබීම ප්‍රමාදවීම එයට හේතුවය. ඉකුත් බ්‍රහස්පතින්දා වනතුරුත් එම තීන්දුව පාර්ලිමේන්තුවට ලැබී තිබුණේ නැත.
ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්නොවන අතර යළි රැස්වෙන්නේ මේ මස 18 වැනිදාය. එම තීන්දුව කථානායකවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දිය යුතු වේ. ඉන්පසු අධිකරණයෙන් නියම කර ඇති සංශෝධන කළ හැකි ආකාරය විමසා බලා පනත සම්මත කිරීමට සිදුවෙයි.
ඒ අනුව නාම යෝජනා කැඳවීමට සූදානම් වූ දිනට වඩා සති දෙකකින් ප්‍රමාද වන අතර නාම යෝජනා කැඳවීම මාර්තු මාසය දක්වා කළ යයි. අපොස සාමාන්‍ය පෙළ විභාගය මාර්තු 17 වැනි දින ආරම්භ වේ. එම විභාගයට බාධාවක් නොවන ලෙස මැතිවරණය පැවැත්වීමට සිදුවේ. ඒ අනුව කලින් බලාපොරොත්තු වූ අප්‍රේල් මස මුල නොව අප්‍රේල් අග දක්වා පළාත් පාලන මැතිවරණය කල් යනු ඇත.