ප්‍රභූවරුන් හා වෘත්තිකයන්ගෙන් රජයට කෝටි අසූ දාහක බදු පොල්ලක්


පවරා ඇති නඩු ගණන පන්දාහක්

සුජිත් හේවාජුලිගේ

කෝටිපති ව්‍යාපාරිකයන්, ප්‍රභූවරුන්, වෘත්තිකයන් ඇතුළු 2000 කට වැඩි පිරිසක් සහ ඇතැම් ආයතන රජයට රුපියල් කෝටි අසූ දාහකට ආසන්න බදු මුදලක් කාලයක් තිස්සේ ගෙවීම පැහැරහැර ඇතැයි වාර්තා වේ. 

මෙසේ බදු ගෙවීම පැහැර හැර ඇති පුද්ගලයන් අතර වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, නීතිඥවරුන්, දෛවඥයන් සහ උපකාරක පන්ති ගුරුවරුන් යනාදී පුද්ගලයෝද වෙති.   
මේ තරම් විශාල මුදල් කන්දරාවක් හිඟ බදු, දඩ සහ පොලී වශයෙන් නොලැබී යෑම රාජ්‍ය ආදායමට විශාල බලපෑමක් ඇති කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.   
මේ මුදලින් රුපියල් කෝටි විසිදහස් එකසියයක් කිසිදු නීතිමය ගැටලු‍‍වකින් තොරව අයකළ හැකි ආදායම් වශයෙන් හඳුනාගෙන ඇති බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝපා ) අනාවරණය කළේය.   


කෙසේ වෙතත් මෙම මුදල ලබාගැනීම මෙතෙක් කාලයක් පමාවීමට හේතුව කුමක්දැයි වහා සොයා බැලිය යුතු බව එම කාරක සභාව වැඩිදුරටත් සඳහන් කළේය.   
ආදායම් බදු නොගෙවන පුද්ගලයන්ට එරෙහිව අධිකරණවල පවරා ඇති නඩු ප්‍රමාණය පන්දහසක් පමණ වෙයි. ඒ අතර කොළඹ මහාධිකරණ ආදායම් බදු අධිකරණයේ එම නඩු දෙදහසක් පමණ විභාග වෙමින් පවතින බව අධිකරණ ආරංචි මාර්ග සඳහන් කළේය.   


මෙම හිඟ බදු මුදල් අය කර ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් අරඹා ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය.