ගයාන් සූරියආරච්චි
පොලිස් ස්ථානාධිපතිවරුන්, කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ ස්ථාන මාරු මෙම සතියෙහිදී සිදු කිරීමට නියමිතව ඇතැයි විශ්වාසදායී ආරංචි මාර්ග පවසයි.
වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් ජාතික පොලිස් කොමිෂන් සභාවට භාර දී තිබූ ස්ථාන මාරු ලේඛනවල තිබූ අඩුලුහුඬුකම් මත එම ලේඛන ඉකුත් 25දාට පෙර නැවත සංශෝධනය කර එවන ලෙස එම කොමිෂන් සභාව වැඩ බලන පොලිස්පතිවරයාට එම ලේඛන හරවා යවා තිබුණි.
එම ලේඛන සංශෝධනය කිරීමෙන් අනතුරුව ඉකුත් 25 වැඩ බලන පොලිස්පතිවරයා විසින් සංශෝධිත ලේඛන නැවත පොලිස් කොමිසමට භාර දෙනු ලැබ තිබුණි.
ඒ අනුව පොලිස් ස්ථානාධිපතිවරුන්, කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් රැසකට ස්ථාන මාරු නිර්දේශ වී ඇති බව එම ආරංචි මාර්ග පවසයි. දැනට නිර්දේශ කර ඇති ස්ථාන මාරු ලේඛන සම්බන්ධයෙන් හෙට (1දා) අවසන් තීරණයකට එළඹීමට නියමිතව තිබූ බව එම ආරංචි මාර්ග කියයි. මීට මාස දෙකකට පමණ පෙර සිට ස්ථාන මාරු සඳහා ලේඛන පොලිස් කොමිෂන් සභාවට බාර දී තිබූ අතර පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් එම ස්ථාන මාරු තාවකාලිකව නතර කරන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා කළ ඉල්ලීමකට අනුව ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් එම ස්ථාන මාරු තාවකාලිකව නතර කරනු ලැබ තිබුණි.