ඇමැතිකම් ගන්න තවත් පස්සෙන් යන්නේ නෑ
පොහොට්ටුවෙන් දැඩි තීරණයක්
සුජිත් හේවාජුලිගේ
දිගින් දිගටම ඇමැතිධූර ඉල්ලා ජනාධිපතිවරයාට ඇවිටිලි නොකිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) දැඩි තීරණයක් ගනියි. පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයෙක් ‘ඉරිදා ලංකාදීප’යට පැවැසුවේ ජනාධිපතිවරයා ඇමැතිධුර දුන්නත් නැතත් පක්ෂයේ කටයුතු ශක්ති සම්පන්නව ඉදිරියට ගෙන යෑමට කටයුතු කරන බවය.
පොහොට්ටුවට කැබිනට් ඇමැතිධුර 10 ක් දෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මෙයට පෙර ලිඛිතව ඉල්ලීම් කර තිබුණත් ඔහු විවිධ හේතු ඉදිරිපත් කරමින් ඇමැතිධූර ලබාදීම ප්‍රමාද කරමින් සිටින තත්වයක් දක්නට ලැබෙන බවද ඒ ජ්‍යෙෂ්ඨයා සඳහන් කරයි.
‘‘ඇමැතිධුර දෙනවනම් දෙන්න. නොදුන්නත් ගැටලුවක් නැහැ. අපි අපේ වැඩ ටික කරගෙන යනවා. කොහොම නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රනිල් වික්‍රමසිංහ මහත්තයට සහාය දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුණු පාලන කාලයේ ඉතිරිය කරගෙන යන්න විතරයි” යැයි ද ඔහු අවධාරණය කරයි.
අය වැයට පෙර ඒ ඇමැතිධුර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබාදෙන බව ජනාධිපතිවරයා මුලින්ම ප්‍රකාශ කළැයි හෙළි කළ පොහොට්ටු ජ්‍යෙෂ්ඨයා ඉන් අනතුරුව නිදහස් උත්සවයට ප්‍රථම ඇමැතිධුර දෙන බවට ජනාධිපතිවරයා පොරොන්දු වූ බවද සිහිපත් කරයි.
එහෙත් මෙතෙක් පොහොට්ටුවට ඇමැතිධුර ලබා නොදුන් අතර ඊට පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලැබුණු පසු ඇමැතිධූර ලබා දෙන බවට ජනාධිපතිවරයා පොරොන්දු වූ බවද පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයා හෙළිකරයි.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඇමැතිධුර ලබාදීම ප්‍රමාද කිරීම පිටුපස වෙනත් යටි අරමුණක් ඇති බවට එම පක්ෂය තුළ කතාබහක් පවතින බවද ඉරිදා ලංකාදීපයට අනාවරණය වෙයි.