භාණ්ඩාගාරය රක්ෂණයට මුදල් දී නෑ
සුජිත් හේවාජුලිගේ
බොහෝ පෞද්ගලික රෝහල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ප්‍රතිකාර සහ ඖෂධ ලබාදීම මග හරින තත්ත්වයක් මතුව ඇතැයි වාර්තා වේ. මන්ත්‍රීවරුන්ගේ වෛද්‍ය රක්ෂණය සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් කොටසක් පමණක් බැර කිරීම හේතුවෙන් මතුව ඇති මූල්‍ය ප්‍රශ්නයක් සැලකිල්ලට ගෙන එම රෝහල් මෙසේ කටයුතු කරන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
පෞද්ගලික රෝහල්වල මෙම ස්ථාවරය හේතුවෙන් මන්ත්‍රීවරු රැසක් පසුගිය දිනවල විවිධ අපහසුතාවයන්ට මුහුණ දුන්හ.
එසේම මන්ත්‍රීවරුන් ගණනාවක්ම මේ සම්බන්ධයෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට දැනටමත් පැමිණිලි කර ඇත.
පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා පැවැති ගෘහ කාරක සභා රැස්වීමේදී ද මේ කාරණය සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා වී ඇති අතර අගමැතිවරයාට දැනුම්දී මෙම මුදල් ප්රශ්නය විසඳා ගැනීමට එහිදී තීරණය කර ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.
සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුටම වාර්ෂිකව ලක්ෂ දෙකක වෛද්‍ය රක්ෂණයක් හිමිවේ.