මත් රියැදුරන් කොටු කරන ව්‍යාපෘතිය මග නවතී


ප්‍රවාහන ආයතනයේ කෝටි දෙකක් වතුරේ

නිමන්ති රණසිංහ

මත් ද්‍රව්‍ය පාවිච්චි කරන රියැදුරන් කොටු කර ගැනීම සඳහා මුත්‍රා පරීක්ෂා කිරීමට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය 2021 වර්ෂයේදී රුපියල් දෙකෝටි හතළිස් හය ලක්ෂයකට වැඩි වටිනා පරීක්ෂණ කට්ටල මිලදී ගෙන ආරම්භ කළ ව්‍යාපෘතිය අතරමග නතර කිරීමෙන් ඒ සඳහා දරන ලද මුදල අපතේ ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

මෙම මුත්‍රා පරීක්ෂා කටයුතු 2021 වර්ෂයේ ඔක්තෝබර් මස 1 වැනිදා සිට 2022 වර්ෂයේ මාර්තු 10 වැනිදා දක්වා කර තිබූ නමුත් පරීක්ෂණ කට්ටල නොමැතිවීම හේතුවෙන් ව්‍යාපෘතිය අතරමග නතර කර තිබූ බව එම කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.  


මෙම ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබ තිබුණේ රටේ රිය අනතුරු වළක්වා ගැනීමේ අරමුණින් බව විගණන නිලධාරීහු පෙන්වා දෙති.  


මේ තොරතුරු සඳහන් වෙන්නේ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය නිකුත් කළ අලුත්ම වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය. මෙම වාර්තාව පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කෙරිණ.