මාර්තු 9 ඡන්දය නෑ : පළාත් පාලන ආයතන කොමසාරිස් පාලනයට


අජන්ත කුමාර අගලකඩ   

පළාත් පාලන මැතිවරණය ලබන මස 19 වැනිදාට පෙර පැවැත්වීමට නොහැකි වන බැවින්, පළාත් පාලන ආයතනවල පාලනය විශේෂ කොමසාරිස්වරුන් යටතට පැවරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.


වසරකින් කල් දමා ඇති පළාත් පාලන ආයතනවල නිල කාලය ලබන මස 19 වැනිදායින් අවසන් වන අතර, ඒ සඳහා සභිකයන් තෝරා ගැනීමේ ඡන්ද විමසීම ලබන මස 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ.

එසේ වුවද රජයෙන් අවශ්‍ය මුදල් නොලැබීම හේතුවෙන්, මැතිවරණය පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බැවින්, පළාත් පාලන ආයතනවල නිල කාලය මාර්තු මස 19 වැනිදායින් අවසන් වනු ඇත.   


මහ නගර සභාවල පාලනය නාගරික කොමසාරිස්වරුන් යටතට ද, නගර සභා සහ ප්‍රාදේශීය සභාවල පාලනය නාගරික ලේකම්වරුන් සහ ප්‍රාදේශීය සභා ලේකම්වරුන් යටතට ද, පැවරෙනු ඇතැයි දැන ගන්නට තිබේ.   


කොමසාරිස් පාලනයට පැවරීමත් සමග දැනට සිටින මන්ත්‍රීවරුන්ගේ තනතුරුද අහෝසිවනු ඇත.


මේ අතර මේ මස 22 - 23 - 24 හා 28 යන දිනවලට යොද‌ාගෙන තිබූ තැපැල් ඡන්ද විමසීම දින නියමයකින් තොරව කල් යන බව මැතිවරණ කොමිසම සිකුරාද‌ා නිල වශයෙන් නිවේදනය කළේය.