මැතිවරණ කොමිෂන් සභාවට අලුත් මුහුණු පහක්


ව්‍යවස්ථා සභාවේ තවත් රැස්වීමක් 7 වැනිදා

සුජිත් හේවාජුලිගේ   

මැතිවරණ කොමිෂන් සභාව පිහිටුවීමේදී එහි දැනට සිටින සාමාජිකයන් වෙනුවට අලුත්ම පුද්ගලයන් පත් කිරීම කෙරෙහි අවධානය යොමුවී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. මැතිවරණ කොමිෂන් සභාවට සාමාජිකයෝ පස් දෙනෙක් ඇතුළත් වෙති.

මේ අතර සෙසු කොමිෂන් සභා සඳහාද දැනට සිටින සාමාජිකයන් වෙනුවට අලුත් අය පත් කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත. ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත් කිරීමට මේ වනවිට අයැදුම්පත් කැඳවා ඇති අතර අයැදුම්පත් බාර ගැනීම ලබන 15 වැනිදායින් අවසන් වේ.   


මැතිවරණ කොමිෂන් සභාවට අමතරව යළි පත් කිරීමට ඇති සෙසු කොමිෂන් සභා වන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව, අධිකරණ කොමිෂන් සභාව, විගණන සේවා කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, සීමා නිර්ණය කොමිෂන් සභාව,අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභාව සහ ප්‍රසම්පාදන කොමිෂන් සභාවයි. 


මේ අතර ස්වාධීන කොමිෂන් සභා පත් කිරීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව ලබන 7වැනිදා තුන්වැනි වරටත් රැස්වීමට නියමිතය.