මැතිවරණ කොමිසම අලුත් කිරීම තවත් කල්යයි


ව්‍යවස්ථා සභාවේ කඹ ඇදිල්ලක්  

සුජිත් හේවාජුලිගේ

මැතිවරණ කොමිෂන් සභාව පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් අතර පැහැදිලි එකඟතාවක් නොමැතිවීම හේතුවෙන් තවදුරටත් ප්‍රමාද වන ලකුණු පහළව ඇතැයි එම සභා ආරංචි මාර්ගවලින් පැවසේ.   

පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක මැතිවරණ කොමිෂන් සභාව වෙනස් කිරීම සුදුසු නොවන බව විපක්ෂයේ සාමාජිකයන් දිගින් දිගටම ප්‍රකාශ කරද්දී ආණ්ඩුවේ සාමාජිකයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට ඕනෑම මොහොතක නව මැතිවරණ කොමිෂන් සභාව පත් කිරීමේ බලය ඇති බව සඳහන් කරන්නේ යැයිද එම ආරංචි මාර්ග සඳහන් කළේය.   


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව හමුවේ අදහස් දක්වා ඇති විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර ඇත්තේ මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක මැතිවරණ කොමිෂන් සභාව වෙනස් කිරීම සදාචාරාත්මක නොවන බවයි.   


මැතිවරණ කොමිෂන් සභාව පළාත් පාලන මැතිවරණයෙන් පසු පත් කරන්නැයිද ඔහු ඉල්ලීමක් කළේය.   


මේ අතර ජාතික පොලිස් කොමිෂන් සභාව සහ විගණන කොමිෂන් සභාව යන කොමිෂන් සභාවල සාමාජිකයෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් තෝරාගනු ලැබ සිටිති.   
විගණන කොමිසමේ සාමාජිකයන් පත් කිරීම සඳහා එම නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් ජනාධිපතිවරයාට දැනටමත් නිර්දේශ කරනු ලැබ ඇත.   
මේ අතර පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ සේවා කාලය මාස 3 කින් දීර්ඝ කිරීම ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියට යොමු කරනු ලැබ ඇතැයි දැනගන්නට ඇත.   


මේ අනුව එම සේවා දීර්ඝය මේ සතියේ රැස්වීමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභා රැස්වීමේදී සලකා බැලෙනු ඇත.