වසර අග ආදායම් හිඟයක් - පේරාදෙණියෙන් හෙළිදරව්වක්
සුජිත් හේවාජුලිගේ
මේ වසරේ මුල් මාස හයේ රජයේ ආදායම රුපියල් කෝටි 39,800කින් වැඩිවී ඇතත් වියදම කෝටි 73,800කින් ඉහළ ගොස් ඇතැයි මුදල් අමාත්‍යාංශ වාර්තාවල දැක්වෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.
මේ කාලයේ දී පුනරාවර්තන වියදම්වල (එදිනෙදා කටයුතු) වැඩිවීම පමණක් කෝටි හැත්තෑ පන්දහසක් බව ද ඔහු සඳහන් කළේය.
මේ අතර පසුගිය 2022 වර්ෂයේ මුල් මාස හයට සාපේක්ෂව මේ වසරේ මුල් මාස හයේ දී රජයේ ආදායම වැඩිවී ඇත්තේ සියයට 43 කින් පමණක් බව පැවසූ මහාචාර්යවරයා පුනරාවර්තන වියදම් සියයට 48 කින් ඉහළ ගොස් ඇතැයි ද සඳහන් කළේය. රටේ ආර්ථික වර්ධනයට අවශ්‍ය වන ප්‍රාග්ධන වියදම සියයට 7 ක් දක්වා පහළ ගොස් ඇතැයි ද ඔහු පැවසුවේය.
මේ අතර 2023 අයවැය ලේඛනය අනුව මුල් මාස හයේ කෝටි තුන්ලක්ෂ හතළිස් එක් දහස් පන්සියයක ආදායමක් රජය අපේක්ෂා කළ නමුත් ලබා ගත හැකි වී ඇත්තේ කෝටි එක් ලක්ෂ තිස් එක් දහස් හත් සියයක් බවත් රජයේ අපේක්ෂිත ආදායමෙන් කෝටි අසූ දාහක් අහිමි වන තත්වයක් පවතින බවත් වසන්ත අතුකෝරළ මහතා පැවසීය.
මේ අනුව ආදායම් හිඟයකට මේ වසර අවසානයේ දී රජයට මුහුණ දීමට සිදුවන බව ඔහු පැවසීය.
මේ තත්ත්වය තුළ දේශීය ණය ගැනීම් ඉහළ යා හැකි හෙයින් රටේ ණය බර තවත් වැඩිවිය හැකි බවද ඔහු පෙන්වා දෙයි.