රජය පසුගිය මාස එකහමාරට කෝටි ලක්ෂයක ණය අරන්


මහාචාර්ය වසන්ත අතුකෝරල

සුජිත් හේවාජුලිගේ

ණය ගැනීම සම්පූර්ණයෙන්ම නවතා දමා ඇතැයි ප්‍රකාශයට පත්කර තිබිය දී රජය පසුගිය මාස එක හමාරක කාලය ඇතුළත (ජනවාරි සිට පෙබරවාරි 15 දක්වා) රුපියල් කෝටි එක්ලක්ෂ තුන් දහස් තුන්සිය හැත්තෑ හතක (බිලියන 1033) ණය මුදලක් භාණ්ඩාගාර බිල්පත් සහ තිළිණපත් මගින් ලබාගෙන ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා අනුව පෙනී යන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ‘ඉරිද‌ා ලංකාදීප’යට පැවැසීය.

ණය ගැනීම සම්පූර්ණයෙන්ම නවතා වියදම ජනතාව මත පනවන බදු මගින් උපයා ගන්නා බව ප්‍රකාශ කර එසේ අසීමිත බදු අය කරන අතරේම මේ ආකාරයට කෙටි කලක් තුළ විශාල ණය මුදලක් ලබා ගැනීම ප්‍රහේලිකාවක් බව මහාචාර්යවරයා පැවසීය. 


විවිධ ක්‍රම මඟින් රටට ණය ගැනීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය මුදල් ලබා ගැනීමේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා සම්පූර්ණයෙන්ම නවතන බවටද කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙයට පෙර ප්‍රකාශ කර තිබුණේ යැයි ද ඔහු ප්‍රකාශ කළේය.   


වසරේ මුල් මාස එකහමාර තුළ ලබාගෙන ඇති මෙම ණය මුදලින් රුපියල් කෝටි 81,274ක් (බිලියන 812) ලබාගෙන ඇත්තේ භාණ්ඩාගාර බිල්පත් මගිනි. ඉතිරි කෝටි 22103 (බිලියන 221) භාණ්ඩාගාර බැඳුම්කර වලින් ලබාගෙන ඇතැයි අතුකෝරල මහතා කීවේය.   


සමහර බිල්පත්වලින් පළමු අදියර යටතේ කෝටි 57,112 ද දෙවැනි අදියර යටතේ කෝටි 24161ක්ද ලබාගෙන ඇති බව මහ බැංකු වාර්තා අනුව පෙනී යන්නේ යැයි පවසන මහාචාර්යවරයා රජය ජනතාව මත විශාල බදු බරක් පටවමින් ආදායම වැඩි කර ගන්නා අතරේම දේශීය භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර මගින් ඉහළ පොළී අනුපාත යටතේ තවදුරටත් ණය ගන්නා බවද ප්‍රකාශ කළේය.