රජය ’’බැඳුම්කරයෙන් ’’ කෝටි දසලක්ෂ දාහත් දහසක් ණය අරන්


වැඩි හරිය දේශීය ණය වාරික, පොලී ගෙවීමට

සුජිත් හේවාජුලිගේ   

රජය පසුගිය වසරේ (2022) මුල් මාස 11 දී භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර වෙළෙඳපොළෙන් රුපියල් කෝටි දසලක්ෂ දාහත් දහස් දෙසිය හයක් ණය ලබාගෙන ඇතැයි (බිලියන දස දහස් එකසිය හැත්තෑ දෙකක්) පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල සහ රුහුණ විශ්වවිද්‍යාලයේ ආචාර්ය නන්දසිරි කීඹියහෙට්ටි යන මහත්වරුන් ඒකාබද්ධව කළ අධ්‍යයනයක දී තොරතුරු අනාවරණයවී ඇත.

මෙම ණය මුදලින් වැඩි ප්‍රමාණයක් ලබාගෙන ඇත්තේ දේශීය ණය වාරික හා පොලී ගෙවීමට වීම විශේෂත්වයක් බව මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.   


මේ අනුව භාණ්ඩාගාර බිල්පත් වෙළෙඳපොළෙන් රුපියල් කෝටි අටලක්ෂ අසූ එක් දහස් දෙසිය අටක්ද (බිලියන 8812) භාණ්ඩාගාර බැඳුම්කර මගින් රුපියල් කෝටි එක් ලක්ෂ අසූ පන් දහස් නව සිය අනූ හතක්ද (බිලියන 1859) ලබාගෙන ඇතැයි පැවසූ මහාචාර්යවරයා මෙම මුදල්වලින් සියයට හැට අටක් පමණ භාවිත කර ඇත්තේ එම වසරේ කල්පිරෙන ලද භාණ්ඩාගාර බිල්පත්වල ණය පියවීමට බවද ප්‍රකාශ කළේය.   
රජය පසුගිය වසරේ ජූලි මාසයේදී පමණක් රුපියල් කෝටි එක්ලක්ෂ තුන් දහස් තුන් සිය පනස් අටක් භාණ්ඩාගාර බිල්පත්වලින් ලබාගෙන ඇතැයි ඔහු පැවසුවේය. 

 
පසුගිය වසරේදී පමණක් කල් පිරෙන ලද භාණ්ඩාගාර බිල්පත්වල වටිනාකම රුපියල් කෝටි හය ලක්ෂ අනූ තුන් දහස් දෙසිය හතරක් බව පැවසූ හෙතෙම මීට අමතරව ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර මඟින්ද ඩොලර් මිලියන පන්සිය පනස් හතක ණය මුදලක් ලබාගෙන ඇති බව ප්‍රකාශ කළේය.   


රජයේ ණය ගැනීම නිසා පසුගිය වසරේ භාණ්ඩාගාර බිල්පත් සඳහා පොලිය පමණක් රුපියල් කෝටි තිස් පන් දහස් දෙසිය පනස් දෙකකි. එය ඊට කලින් වසරේ රජය ආදායම් බදු ලෙස ලබාගෙන තිබූ කෝටි 30,200 ටත් වඩා වැඩි බව මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.