- - මහාචාර්ය වසන්ත අතුකෝරළගෙන් අනාවරණයක්
උපුල් වික්‍රමසිංහ
පසුගිය දිනවල පැවති අධික වර්ෂාව හමුවේ ගොවි බිම් ජලයෙන් යටවීම නිසා සිදු වූ සමස්ත පාඩුව රුපියල් කෝටි 8,500 කට ආසන්න බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ, ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරළ ‘ඉරිදා ලංකාදීප’යට පැවසීය.
මහ කන්නය සඳහා අක්කර විසි එක් ලක්ෂ තිස් හත් දහසකට ආසන්න භූමි ප්‍රමාණයක වී වගා කරන බව කී මහාචාර්යවරයා ගංවතුර නිසා විනාශ වූ ගොවි බිම් ප්‍රමාණය මෙතෙක් නිශ්චිතව තහවුරු කර නැතත් අක්කර 340,000 කට ආසන්න ප්‍රමාණයක් විනාශ වී ඇතැයි අනුමාන කළ හැකි බවත් එය මහ කන්නයේ සමස්ත ගොවි බිම් ප්‍රමාණයෙන් සියයට 15.8 ක් බවත් සඳහන් කළේය.
මේ බලපෑම මත එළැඹෙන මහ කන්නයේ වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 477,000 කින් පමණ පහළ යා හැකි බව ද එම ප්‍රමාණය සහල් බවට පරිවර්තනය කළහොත් එය මෙට්‍රික් ටොන් 324,500 කට ආසන්න ප්‍රමාණයක් බව ද එසේ අහිමි වන සහල් ප්‍රමාණයෙහි වටිනාකම රුපියල් කෝටි 7,137 ක් බව ද හෙතෙම ප්‍රකාශ කළේය.
අක්කරයකට රුපියල් 40,000 බැගින් වන්දි ලබා දුන හොත් ඒ සඳහා වැය වන මුළු මුදල කෝටි 1,352 ක් බවත් අහිමි වන සහල් ප්‍රමාණයෙහි වටිනාකම සහ වන්දි මුදලෙහි එකතුව රුපියල් කෝටි 8,489 ක් පමණ වන බවත් ඔහු කීවේය. මේසා පාඩුවක් රටට සිදු වූයේ ඇළ වේලි හා වැව් නිසි පරිදි ප්‍රතිසංස්කරණය නොකිරීම නිසා බව සිහිපත් කළ ඔහු ආණ්ඩුව ඊළඟ අයවැයෙන් ඒ සඳහා මුදල් වෙන් කර ඒවා පිළිසකර කළ යුතු බව ද පැවසීය.