ෂේන් සෙනෙවිරත්න
වෙසක් පොහෝ දිනට පෙර දිනයේදී දින පහක් පමණ වයසැති කුඩා බිළිඳෙකු බුදු මැදුරක තබා පිටව ගිය මවක් පිළිබඳව වත්තේගම ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
වත්තේගම පොලීසියේ හදිසි ඇමතුම් ඒකකයට (119) 04-05-23 දින පස්වරු එකට පමණ දුරකථන ඇමතුමක් ලැබුණේ වත්තේගම ඇල්කඩුව මාර්ගයේ මලියදේව ලෙන් විහාරය ඉදිරිපිට ඇති බුදු මැදුරේ බුදු පිළිමය යට දින ගණනක් වයසැති කුඩා බිලිඳෙකු දමාගොස් ඇති බවයි.
වත්තේගම පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරීන් කෙටි වේලාවක් තුළදී එහි ළඟා වන විට ද ගම්වාසීන් හා විහාරයට පැමිණ සිටි සැදැහැවතුන් දරුවා වහාම රෝහල් ගත කිරීමට අවශ්‍ය වටපිටාව සකසා තිබුණි.
ඒ අනුව වහාම දරුවා වත්තේගම රෝහලට ඇතුළත් කිරීමට පොලීසිය පියවර ගත්තේය.
වෛද්‍යවරුන් පවසන්නේ දින හතරක් හෝ පහක් වයසැති එම කුඩා පිරිමි දරුවා මනා සෞඛ්‍යසම්පන්නව සිටින බවයි.
කෙසේ නමුත් වත්තේගම රෝහලේ එවැනි කුඩා දරුවෙකුට ප්‍රතිකාර ලබාදීමට අවශ්‍ය පහසුකම් නොමැතිකම හේතුවෙන් මහනුවර ජාතික රෝහලේ නොමේරූ ළදරු ඒකකයට දරුවා වහාම ඇතුළත් කිරීමට පියවර ගැනුණි.
දරුවා දමා ගිය මව සොයා ගැනීම සඳහා පොලීසිය විමර්ශන ආරම්භ කොට ඇති අතර, පොලීසිය පවසන්නේ පසුදින වෙසක් දිනය වූ බැවින් බුදු මැදුර ශුද්ධ පවිත්‍ර කිරීමට පිරිස පැමිණෙන බව දන්නා අයකු එම ස්ථානයේ දරුවා දමා යන්නට ඇති බවයි. දරුවා ආරක්ෂාකාරී ලෙස තුවායක ඔතා පැදුරක දරුවා තබා තිබූ බව ද ඉහළ පොලිස් නිලධාරියෙක් පැවැසීය. වත්තේගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර මහතාගේ මෙහෙයවීම යටතේ ළමා හා කාන්තා කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.