ශ්‍රීලංකන් හදන හැටි කියන ‘ලසාඩ්’ වාර්තාව එන මාසයේ


 

  • සමාගමේ ණය කන්ද ඩොලර් කෝටි 100 පන්නයි
  • මත්තලටත් අභිලාෂ කැඳවීම අරඹයි

සුජිත් හේවාජුලිගේ

ශ්‍රීලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ උපදෙස් ඇතුළත් ලසාඩ් ජාත්‍යන්තර මූල්‍ය සහ වත්කම් කළමනාකරණ සමාගමේ විශේෂ උපදේශාත්මක වාර්තාව ලබන මාසයේදී පමණ ලැබෙනු ඇතැයි වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ‘ඉරිදා ලංකාදීප’යට පැවැසීය. 

එම වාර්තාවේ උපදෙස් අනුව ශ්‍රීලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණයට අවශ්‍ය කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා ප්‍රතිව්‍යුහගතකරණය   
කරන හොඳම ක්‍රමවේදය ඔවුන් එමගින් ඉදිරිපත් කරනු ඇතැයිද සඳහන් කළේය.   


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමට අදාළව ණය ප්‍රතිව්‍යුහගතකරණය වෙනුවෙන් ශ්‍රී ලංකාවට උපදේශාත්මකව සහාය ලබා දෙන්නේද මේ ලසාඩ් සමාගමයි.   
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇමරිකානු ඩොලර් කෝටි 100ක අධික ණය බරක ගිලී සිටින බවද නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.   


ශ්‍රීලංකන් ගුවන් සමාගමේ විදේශ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් කෝටි 17ක් බවත් ලීසිං වාරිකය පමණක් ඇමරිකානු ඩොලර් කෝටි අටක් බවත් ඔහු ප්‍රකාශ කළේය.   
එසේම සමාගම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ බැංකුවලට ඇමරිකානු ඩොලර් කෝටි අසූවක පමණ ණයක් ගෙවීමට ඇති බවද ඔහු කීවේය.   
මේ අතර මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විදේශ ආයෝජකයකුට ලබා ගැනීම සඳහා අභිලාෂ කැඳවීමට කටයුතු කරගෙන යන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.