විගණන අංශයෙන් අනාවරණයක්
සුජිත් හේවාජුලිගේ
රජයේ කටයුතු සඳහා සමෘද්ධි අරමුදල්වලින් ලබාගෙන ඇති රුපියල් කෝටි 4765ක් සමෘද්ධි බැංකුවලට ආපසු ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
රජයේ කටයුතු සඳහා මෙම මුදල් 2004 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා අවස්ථා හයකදී ලබාගෙන ඇත්තේ මහ භාණ්ඩාගාරයේ එකඟතාව අනුව බවද එම වාර්තාවේ දැක්වේ.
සමෘද්ධි ප්‍රතිලාභීන්ට ගෙවනු ලබන සහනාධාර මුදලින් ඇතිකරගත් අරමුදල් සහ අනිවාර්ය ඉතුරුම්වලින් රජය මෙම මුදල ලබාගෙන ඇතැයි පැවසෙයි.
මේ අතර සමෘද්ධි සහනාධාර වෙනුවෙන් රජය 2013 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා වසර නවයක කාලපරිච්ඡේදය තුළ රුපියල් කෝටි තිස් තුන් දහස් හත්සිය හැට හතරක් වැයකර ඇතැයි විගණන නිලධාරීහු පෙන්වා දෙති.
කෙසේ වෙතත් ඉහළ ජීවන තත්වයක් ළඟා කරගෙන ඇති සහ ශක්තියෙන් ඉදිරියට යා හැකි සවිබල ගැන්වුණු පවුල් හඳුනාගැනීම විධිමත්ව සිදුවී නැති බවත් සමෘද්ධි ප්‍රතිලාභීන් පන් ලක්ෂ අනූ තුන් දහස් එකසිය හැටනවයක් වසර දහයත් විසි හතත් අතර කාලයක් තිස්සේ සහනාධාර ලබා ගනිමින් සිටින බවත් එම වාර්තාව පෙන්වා දෙයි.
මේ අතර ඉහළ ආදායම් මට්ටම් කරා ළඟා වී ඇති සමෘද්ධි ප්‍රතිලාභීන් ඉවත් කර නව ප්‍රතිලාභීන් ඇතුළත් කිරීම සඳහා පසුවිපරම් වැඩපිළිවෙළක් නොමැති වීම ගැටලුවක් බව විගණන අංශ පවසයි.
මෙම තොරතුරු ඇතුළත් වන්නේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අලුත්ම වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තා වේය.