සල්ලි නැති නිසා 9 වැනිදා ඡන්දෙ තියන්න බෑ


මැතිවරණ කොමිසමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක්

අජන්ත කුමාර අගලකඩ   

මුදල් නොමැතිවීම හේතුවෙන්, පළාත් පාලන මැතිවරණය පොරොන්දු වූ පරිදි ලබන මස නව වැනිදා පැවැත්වීමට නොහැකි වන බව මැතිවරණ කොමිෂන් සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් මගින් අනිද්ද‌ා (21) දැනුම් දෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා ‘ඉරිද‌ා ලංකාදීප’යට පැවසීය.

පළාත් පාලන මැතිවරණය ලබන මස 9 වැනිදා ස්ථිරවම පවත්වන වන බව, පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙසට, මැතිවරණය කොමිෂන් සභාවට නියෝග කරන්නැයි ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ඉදිරිපත් වූ අවස්ථාවේ මැතිවරණ කොමිෂන් සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබිණි.   


එම පොරොන්දුව මත, එම මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙක ඉවත් කර ගැනීමට රංජිත් මද්දුම බණ්ඩාර, මහාචාර්ය ජී. එල්. පීරිස් යන මහත්වරුන් ඇතුළු පෙත්සම්කරුවෝ පියවර ගත්හ.   


ශ්‍රේෂ්ඨාධිකරණයට දුන් ප්‍රතිඥාව අනුව, මැතිවරණය පැවැත්වීමට නොහැකි වීමෙන්, ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් වන බැවින්, පවත්නා තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් මෙම චෝදනාව ඉදිරිපත් කරන බවද ඔහු කීවේය. 

 
පළාත් පාලන මැතිවරණය ලබන මස 09 වැනිදා පවත්වන බවට මැතිවරණ කොමිෂන් සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට මීට පෙර දැනුම් දුන් අතර, ඒ අනුව තැපැල් ඡන්දය මේ මස 22, 23, 24 සහ 28 යන දිනවල පැවැත්වීමට තීරණය කර තිබිණි.   


එහෙත් මුදල් නොමැතිව ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට නොහැකි බව රජයේ මුද්‍රණාලයාධිපතිනිය මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇති අතර, තැපැල් ඡන්දය ද නියමිත පරිදි පැවැත්වීමට නොහැකි තත්වයක් උද්ගතව විය. ඒ අනුව මැතිවරණ කොමිසම ඉකුත් සිකුරාදා නිවේදනය කළේ තැපැල් ඡන්ද විමසීම කල් දැමූ බවය. මුදල් නොමැතිවීම හේතුවෙන් මැතිවරණය ලබන මස 09 වැනිදා පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇත.   


මේ අතර මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාද මැතිවරණ කොමිෂන් සභාවට පෙරේද‌ා (17) කැඳවනු ලැබූ අතර මැතිවරණයට​ මුදල් දීමට තිබෙන අපහසුතා ගැන ඔහු එහිදී දැනුම්දී ඇත.