සිල්ලර කාසි සංසරණය වැඩිවෙලා


කැටේ කඩා කාසි බඩට

සුජිත් හේවාජුලිගේ   

ජනතාව තමන්ගේ නිවෙස්වල කාලයක් තිස්සේ එකතු කළ මුදල් කැට කඩා ඒවායේ මුදල් ලබාගැනීමට සුලබව පෙලඹී සිටින තත්ත්වයක් දැකගත හැකි බව බැංකු ආරංචි මාර්ගවලින් පැවසේ.   

රටපුරා සංසරණය වන සිල්ලර කාසිවල වැඩිවීමක් මේ හේතුවෙන් ඇතිවී තිබෙන බව බැංකු නිලධාරියෙක් පැවැසීය.

නිවෙස්වල තිබූ කැට ලක්ෂ දහයකට වැඩි ප්‍රමාණයක් පසුගිය වසර කිහිපය තුළ කඩා ඒවායේ මුදල් ලබාගෙන ඇති බවට අනුමාන කෙරෙන බව පැවසූ එම නිලධාරියා නෝට්ටු ලබා ගැනීම සඳහා බැංකුවට මුදල් කැට ඉදිරිපත් කිරීම ද වැඩිවී ඇතැයි සඳහන් කළේය.   


විදුලි මිල ඇතුළු බිල් වර්ග ගෙවීම, උපකාර පන්ති ගාස්තු ගෙවීම සහ ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම යනා දී හේතු කාරණා මත බොහෝ පිරිස් කැට කඩා මුදල් ලබාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.   


මේ අතර රට පුරා විහාරස්ථාන පල්ලි, දේවාලවල පිං පෙට්ටි කැඩීම ද ඉහළ ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.