සේවක හිගය නිසා සරසවි අනධ්‍යන ස්ථාන මාරුවීම්වලට දැඩි බලපෑම්


ඉන්දික හේවාවිතාරණ
විශ්වවිද්‍යාල 17 හා උසස් අධ්‍යාපන ආයතන සැලකීමේදී පොදුවේ අනධ්‍යයන කාර්ය මණ්ඩල හිඟය සියයට විස්සත් විසිපහත් දක්වා ඉහළ ගොස් තිබෙන බව අනධ්‍යයන කාර්යමණ්ඩල සාමාජිකයෝ සඳහන් කරති.
මේ නිසා අනධ්‍යයන සේවක ස්ථාන මාරුවීම්වලට දැඩි ලෙස බලපෑම් සිදුව තිබේ. ශිෂ්‍යයන්ගේ අධ්‍යයන කටයුතු ඇතුළු විශ්වවිද්‍යාල කටයුතුවලට දැඩිව බලපෑම් සිදුවෙමින් තිබෙන බවද ඔවුහු පෙන්වා දෙති.

පවතින සේවක හිඟය නිසා තමන් පදිංචි ආසන්න ප්‍රදේශයක පිහිටි විශ්වවිද්‍යාලයකට මාරු වීමක් ලබා ගැනීමට වසර ගණන් බලා සිටීමට සිදුවන අතර සමහර සේවකයන් විශ්වවිද්‍යාල දෙකක් පසුකරමින් තමන්ගේ සේවා ස්ථානවලට ගමන් කරන බවත් ඔවුහු සඳහන් කරති.
මේ නිසා දෛනිකව විශාල කාලයක්  ගමනාගමනයට වැය වෙන බවද ලැබෙන සුළු වැටුපෙන් විශාල මුදලක් ගමන් වියදම් ලෙස භාවිත කිරීමට සිදුව තිබෙන බවද පෙන්වා දෙති. 
පොදුවේ විශ්වවිද්‍යාල පද්ධතිය සැලකීමේදී ආර්ථික හා වෙනත් හේතු මත සේවකයන් සේවයෙන් ඉල්ලා අස්වීම්, සේවය අතහැරයෑම් හා විශ්‍රාම ගැනීම් සිදුවෙමින් තිබුණත් ඊට සාපේක්ෂව බඳවා ගැනීම් සිදු නොවන බව අනධ්‍යයන සේවකයෝ සඳහන් කරති.