හිටපු ආණ්ඩුකාරවරයෙක් ඌවේ රක්ෂිතයක් ඩෝසර් කරලා ඇමති ව්‍යාපෘතිය නවත්වයි


සුජිත් හේවාජුලිගේ
ඌව පළාතේ හිටපු ආණ්ඩුකාරවරයෙකු ඇතුළු දේශපාලනඥයන් පිරිසකගේ අනුග්‍රහය යටතේ ජාවාරම්කරුවන් පිරිසක් හල්දුම්මුල්ල බෝගහ පැලැස්ස රක්ෂිතයේ කරගෙන ගොස් ඇති වගා ව්‍යාපෘතියක් තාවකාලිකව අත්හිටු වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පැවසීය.

එසේම මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස විදුලි බල මණ්ඩලයට නියෝග කර ඇතැයි ද ඔහු සඳහන් කළේය. එම වාර්තාව ලැබුණු පසු මුදල් අය කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව අමාත්‍යවරයා කීය.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වන බදුලු‍ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනිඳු සමන් පැවසුවේ මේ ජාවාරම සඳහා හිටපු ඌව පළාත් ආණ්ඩුකාරවරයකු ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල්වරයකු ලෙස විදුලි බල මණ්ඩලයට ලිපියක් යවා එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට බලපෑම් කර ඇති බවයි.
විදුලි බල මණ්ඩලය මේ රක්ෂිතය හරහා විදුලිය ලබාදීමට විශාල මුදලක් වැයකර ඇති බවද ඔහු සඳහන් කළේය. අලින් යන අලිමංකඩ හරහා මෙම වගාව කර ඇති බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.