අගමුල හෙළිවූ හරක්කටාගේ මත්ද්‍රව්‍ය ජාලය


 

දකුණු මුහුදු තීරයේ වැලිගම මිරිස්ස ප්‍රදේශයේ දී ශ්‍රී ලංකා වෙරලාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 219ක් සමඟ සැකකරුවන් 11 දෙනකු අත්අඩංගුවට ගනු ලබන්නේ ඉකුත් ජුනි මස 11 වැනිදාය. පසුව, වෙරලාරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් මෙම මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාර දෙන්නේ වැඩිදුර විමර්ශන කටයුතු සඳහාය. ජාත්‍යන්තර මුහුදු සීමාව ඔස්සේ මෙම මත්ද්‍රව්‍ය තොගය රැගෙන එන විදේශීය යාත්‍රාවක් අරාබි මුහුදු සීමාවේදී අංක IMUL- A – 0742 – KLT දරන “සකී දුව” නමැති මෙරට බහුදින යාත්‍රාවකට මෙම මත්ද්‍රව්‍ය තොගය ලබා දී තිබිණ. මේ මත්ද්‍රව්‍ය තොගය බාර ගැනීමට එම යාත්‍රාවේ සැකකරුවන් හයදෙනකු සිට අති අතර, පසුව ඔවුන් දකුණු මුහුදු තීරය ආසන්නට පැමිණ තවත් කුඩා බෝට්ටුවක සිටි සැකකරුවන් තිදෙනකුට ඒවා බාර දී තිබූ බවට විමර්ශකයන් තොරතුරු අනාවරණය කරගෙන ඇත. දිගින් දිගටම සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට ගෙන්වීමේ ප්‍රධානියා ලෙස පොලීසිය හඳුනාගන්නේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු මෙන්ම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා” නමැත්තා පිළිබඳවය. වහා යුහුසුළු වන විමර්ශකයෝ අදාල බහුදින යාත්‍රාවේ හිමිකරුත් සිද්ධියේ මුල්‍ය කටයුතු කළ ඡාවාරමේ ප්‍රධාන සංවිධායකවරයාත් අත්අඩංගුවට ගත්හ. 

 
ඒ අනුව මුහුදු සීමාවේ දී අත්අඩංගුවට ගත් සැකකරුවන් නව දෙනා මෙන්ම ධීවර බෝට්ටු හිමියාත්, ජාවාරමේ ප්‍රධාන සංවිධායකත් දින 07ක් රැඳවුම් බාරයේ තබාගෙන ප්‍රශ්න කළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පසුව ඔවුන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි. එහිදී මාතර මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තකුමාර මහතා මෙම සැකකරුවන් රක්ෂිත භාරයේ තැබීමට නියෝග කර ඇත. 

 
තමන් අයිස් කර්මාන්ත ශාලාවක සේවකයකු වශයෙන් රැකියාව කළ බවත් පසුව රන්මල්ලි සහ නිරෝෂන් නමැති යන අය මාර්ගයෙන් නඳුන් චින්තක නොහොත් හරක් කටා නමැත්තා හඳුනාගත් බවත් ‘සකී දුව” නමැති බහුදින යාත්‍රාවේ හිමිකරු ප්‍රශ්න කිරීමේ දී සඳහන් කර ඇතැයි පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.   


මේ කියන හරක් කටාගේ අනුදැනුම මත බහුදින යාත්‍රාවේ හිමිකරුවන අසුන් චාමර අයිස් වැඩපලේ සේවය අවසන් කරමින් මත්ද්‍රව්‍ය ඡාවාරමට අත ගසන්නේ ඉන් වැඩි වැඩියෙන් ආදායම් ලබා ගත හැකි වූ නිසා වන්නට ඇත. හරක් කටාගේ දැනුම් දීම අනුව අවස්ථා කිහිපයකදී බහුදින ධීවර යාත්‍රාවෙන් ජාත්‍යන්තර මුහුදු තීරයට ගොස් හෙරෙයින් මත්ද්‍රව්‍ය, අයිස් මත්ද්‍රව්‍ය මෙන්ම ගිනි අවි රැගෙන පැමිණි බවත් මේ සඳහා හරක් කටා තමන්ට මුදල් ලබා දුන් බවත් ඔහු පොලීසියට ප්‍රකාශ කර ඇත.   


මෙම සැකකරුවන් මෙම මත්ද්‍රව්‍ය ජාවාරමෙන් අසීමාන්විතව මුදල් උපයාගෙන ඇති බවට ප්‍රශ්න කිරීම්වල දී තොරතුරු අනාවරණය වීම හේතුවෙන් ඔවුන්ගේ වත්කම් පිළිබඳව මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව විමර්ශනයක් ආරම්භ වූයේ මේ අතරවාරයේදීය. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශයේ අධ්‍යක්ෂ ලක්සිරි ගීතාල් මහතාගේ මූලිකත්වයෙන් මෙම පරීක්ෂණය ආරම්භ විය.   
පොලිස් බුද්ධි අංශ විමර්ශනවලින් අනාවරණය වී ඇති අන්දමට මේ වන විට ඩුබායි රාජ්‍යයේ සුපිරි ජීවිතයක් ගත කරමින් සිටින හරක් කටා, මෙරටේ මත්ද්‍රව්‍ය ජාවාරම ජයටම කරගෙන යාමට අසුන් චාමර යොදා ගෙන තිබිණි. බහුදින ධීවර යාත්‍රා කිහිපයක අයිතිකරුවකු බව කියන ‘‘හරක් කටා’’ ඉකුත් පෙබරවාරි මස 18 වැනිදා රුපියල් ලක්ෂ 10ක් යොදවා තවත් යාත්‍රාවක් මිලට ගෙන තිබුණේ මේ ජාවාරම තව තවත් පුළුල් කිරීමේ අරමුණෙනි. යාත්‍රාව ලබා ගැනීමට රුපියල් ලක්ෂ 10ක් දෙන්නේ හරක් කටාගේ මෙරට ගෝලයා අසුන් චාමරය. අසුන් සිය සමීපතමයකු වන චානකට මේ මුදල් ලබා දී ඇති අතර ඔහු චමිල් ප්‍රසංග යන අයගේ ධීවර යාත්‍රාව මිලට ගැනීමට එම මුදල ලබා දී තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම මුදල භාරයට ගෙන අධීකරණයට ඉදිරිපත් කර තිබිණි.   

 

 

හරක් කටාගේ ගෝල අසුන් චාමරට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමෙන් ලද ලාභය කෙතරම් ද යත් ඔහු මේ වන විට එම මුදලින් තංගල්ල ප්‍රදේශයේ සුපිරි වෙළෙද සැලක් ආරම්භ කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු අනාවරණය කර ගෙන ඇත. ඔහු තවත් පුද්ගලයකු සමග ආරම්භ කර ඇති මෙම සුපිරි වෙළෙඳ සැල සඳහා රුපියල් ලක්ෂ 56 ක මුදලක් යොදවා ඇති බවට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි. අනෙක් තැනැත්තා මෙම ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහා රුපියල් ලක්ෂ 23ක් යොදවා ඇති අතර, ඔහු ද ඒ මුදල් උපයාගෙන ඇති ආකාරය සම්බන්ධයෙන් සැක සහිත බැවින් ඒ පිළිබඳව ද විමර්ශනය කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරයට කරුණු ඉදිරිපත් කර ඇත.   


මේ වන විට එම සුපිරි වෙළඳ සැලේ තොග ගණන් කිරීම ලංකා සතොස අභ්‍යන්තර විගණන අංශයේ නිලධාරීන් 08 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් විසින් සිදුකර ඇති අතර, ඔවුන් ලබාදුන් භෞතික තොග ගණනය කිරීමට අනුව එහි සියලු භාණ්ඩවල වෙළෙද විකුණුම් වටිනාකම රුපියල් පනස්පන් ලක්ෂ දහහතරදහස් අටසිය විසිහය ප්‍රමාණයක් බවට ගණනය කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත. මේ වන විට මෙම ආයතනයේ ඇති භාණ්ඩ සතොස ආයතනය වෙත පවරා එහි වටිනාකම මෙම සිද්ධියට අදාළ නඩුවට බැර කිරීමට කටයුතු කරන බව ද මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබේ.   


අයිස් කම්හලක කම්කරුවකු ලෙසින් සේවයට පැමිණි හරක් කටාගේ ගෝලයා වූ අසුන් වසර දෙකක් වැනි ඉතා කෙටි කාලයක් තුළ කෝටිපතියකු වූයේ කෙසේදැයි යන්න ගැන පොලීසිය දිගින් දිගටම විමර්ශනය කරමින් සිටියි. 

 
ඉකුත් 2020 ඔක්තෝම්බර් මාසයේ දිනෙක ‘කනිල් පුතා’ නමැති බහුදින ධීවර යාත්‍රාවෙන් මෙරටට ගෙන්වා ඇති හෙරොයින්වලට රුපියල් ලක්ෂ 30ක් ද, 2020 නොවැම්බර් මාසයේ ‘ලක්මිණි 10’ නමැති බහුදින යාත්‍රාවෙන් ගෙන්වා ඇති හෙරොයින් ග්‍රෑම් 50ක්, අයිස් කිලෝ 245ක් සහ මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලය සඳහා රුපියල් ලක්ෂ 43 ක් ද, 2021 පෙබරවාරි මාසයේ දී ‘සහරා’ බහුදින යාත්‍රාවෙන් හෙරොයින් කිලෝ 39ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 5ක් සඳහා රුපියල් ලක්ෂ 27ක් ද වශයෙන් ලක්ෂ 100ක මුදලක් හරක් කටා විසින් තමන්ට ලබා දී ඇති බවට ඔහුගේ ගෝල අසුන් චාමර සිය ප්‍රකාශවලින් සඳහන් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට තොරතුරු අනාවරණය කරගෙන ඇත.   


මේ කියන ජාවාරම්කරු හරක් කටාගේ එක් ගෝලයෙක් පමණි. දකුණේ මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රබලයෙක් වශයෙන් සිටින නඳුන් චින්තක නොහොත් හරක් කටාගේ තවත් ගෝල බාලයන් දකුණ ලක පුරා විසිරී ඇති බවට පොලීස් නිලධාරීහු මේ වන විට කරුණු අනාවරණය කරමින් සිටිති. ඉකුත් මාස කිහිපයේ දී මේ කියන මිදිගම චින්තක නොහොත් හරක් කටා ගැන විවිධ පුවත් මැවෙන්නට වුණේ ඔහුගේ ගෝල බාලයන් දිවයිනේ සතර දෙසින් පොලීසියට කොටු වූ විටය. පානදුර වලාන දූෂණ මර්දන ඒකකයට දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී රුපියල් කෝටි 45ක් වටිනා හෙරොයින් තොගයක් සමග යුද හමුදා සෙබළෙක් ද මාතර දෙයියන්දර ප්‍රදේශයෙන් රුපියල් කෝටි 78කට අධික වටිනාකමකින් යුත් හොරොයින් තොගයක් ද, අත්අඩංගුවට ගැනීමට හැකි වූයේය.   


හරක් කටාගේ ගේ ප්‍රධාන ගෝලයකු වන “පොඩී”, ඇතුළු තිදෙනකු රුපියල් කෝටි 6කට ආසන්න මුදලක් ද සමඟ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අත්අඩංගුවට ගනු ලැබුවේ ඉකුත් 2020 දෙසැම්බර් මාසයේ 19 වැනිදාය. එහිදී ද පොලීසියට අනාවරණය කර ගත හැකි වූයේ “හරක් කටා” ඩුබායි රාජ්‍යයේ සිට මෙරට සිටින සිය ගෝල බාලයන් මගින් හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම ජයටම කරගෙන යන බවකි. දැන් දැන් මේ කියනා හරක් කටා රගන්නේ ගෝඩ් ෆාදර් ලෙසින් කිරුළ දරන්නට වෑයම් කළ මාකඳුරේ මදූෂ්ගේ භූමිකාව දැයි අප සමාජයේ බොහෝ දෙනාගේ කතා බහට ලක්ව ඇත.   


මිදිගම චින්තක නොහොත් හරක් කටා සම්බන්ධයෙන් සමාජයේ කතිකාවතක් මුලින්ම නිර්මාණය වූයේ ඉකුත් 2020 මැයි මස 30 වැනිදාය. ඒ, මාතර වැලිගම මිරිස්ස ධීවර වරාය ප්‍රධාන පිවිසුම් දොරටුව ඉදිරිපිට අමිල ප්‍රසන්න හෙට්ටිහේවා නොහොත් ‘ෂන්ෂයින් සුද්දාට’ වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියක් හේතුවෙනි. බුද්ධි තොරතුරු සඳහන් කරන ආකාරයට මේ කියන ‘සන්ෂයින් සුද්දා’ත්, ‘හරක් කටා’ ත් මාකඳුරේ මධූෂ්ගේ සමීපතම ගෝලයන් දෙදෙනකුව සිටියේය. කෙසේ වෙතත් මෙම වෙඩි ප්‍රහාරය මිදිගම චින්තක නොහොත් “හරක් කටා” විසින් සැලසුම් කර ඇත්තේ “ඉන්දියාවේදී මියගිය “අංගොඩ ලොක්කා” ගේ වුවමනාවට බව ද ඒ වන විට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබිණි. හෙරොයින් ජාවාරමේ දකුණේ ප්‍රබලයකු වූ මාකඳුරේ මදූෂ්ගේ අවසානයත්, වැලිගම කුඩු ලයින් එකට කෙළ හලමින් සිටි අංගොඩ ලොක්කාගේ අවසානයත් අද වන විට වාසියට හැරී ඇත්තේ මේ කියන හරක් කටාටය. සන්ෂයින් සුද්දාට වෙඩි තබා වැරදුණු කුරුමානමකට හසු වූ “හරක් කටා” නතර වන්නේ ඩුබායි රාජ්‍යයට පලා ගොසින්ය. අද හරක් කටාගේ කල්ල මරේ වී ඇත්තේ ඔහු ඩුබායි සිට දකුණේ මහ කුඩු ජාවාරමා වී ඇති බැවිනි.   

 

නිමන්ති රණසිංහ