එක රැයකදී වැඩිම මුදලක් අය කරන ලෝකයේ සුපිරි හෝටල


එක් රාත්‍රියක්, නැතහොත් එක් දිනක් වෙනුවෙන් කාමරයක් සඳහා වැඩිම මුදලක් අය කරන සුපිරි තරු හෝටල ගැන ඔබ අසා තිබේද? අප රටේ එක් රාත්‍රියකට (එක් දිනකට) රුපියල් ලක්ෂ තුනක් (300,000) ඉක්මවා අය කරන සුපිරි තරු මන්දිර තිබේ. එක් දිනකට එච්චර මුදලක් වැය කරන්නේ කුමකටදැයි ඔබට සිතෙන්නට පුළුවන. එක් රැයකට රුපියල් ලක්ෂ 300 කට වඩා වැඩියෙන් අය කරන හෝටල ලෝකයේ ඇති බැවින්, ඒ හා සසඳා බලන විට ලක්ෂ තුනක් යනු සුළු මුදලකි. ඊටත් එහා ගොසින්, රුපියල් ලක්ෂ 900 කට ආසන්න මුදලක් එක් රැයක් වෙනුවෙන් අයකර ගන්නා සුපිරි තරු හෝටලයක් ගැන ද වාර්තා වේ. ඒ අරුම පුදුම හෝටලය සහ එලෙසින් එක් රැයක දී කාමරයක් සඳහා වැඩිම මුදලක් අය කරන ලෝකයේ ඇති සුපිරි හෝටල් කිහිපයක් ගැන අපි මොහොතකට විපරම් කර බලමු. 
 

Lovers Deep Submarine


 

ලෝකයේ සංචාරක හෝටල ගැන විස්තර පළ කෙරෙන වෙබ් අඩවි බොහොමයක් පෙන්වා දෙන පරිදි එක් රාත්‍රියක්, එනම් එක් දින.ක් සඳහා වැඩිම මුදලක් අය කරන හෝටලය ලෙස සඳහන් වන්නේ, Lovers Deep Submarine (ලවර්ස් ඩීප් සබ්මැරීන්) හෝටලයයි.
 
ලවර්ස් ඩීප් සබ්මැරීන් 
Lovers Deep Submarine
 
එක් රාත්‍රියකට කෝටි 9ක්
 
මෙම හෝටලය ඇත්තේ අපට ලෙහෙසියෙන් දැකගත හැකි තැනක නොවේ. එනිසාම එහි වටිනාකම වැඩි මෙන්ම එය දැකබලා ගැනීමට ඇති කුතුහලය ඇති වේ. මෙම හෝටලය දැකබලා ගැනීමට නම්, කැරිබියානු දූපත් කලාපයට යා යුතුය. එම දූපත් කලාපයේ ඇති එක් දූපතක් වෙන ශාන්ත ලුසියා වෙත ගියද අපට මෙම හෝටලය දැක බලාගත හැකි නොවේ. ඊට හේතුව වන්නේ මෙම හෝටලය ඇත්තේ මහා සාගරයේ ජල කඳට යටින්ය. මහා සාගරයේ කෙසේද ගොඩනැගිලි තනන්නේ යන ප්‍රශ්නය ඊළඟට ඔබට ඇතිවිය හැකිය. මෙය ගොඩනැගිල්ලක් නොවේ. නවීනතම තාක්ෂණය අනුව නිර්මාණය කරන ලද සබ්මැරීනයකි. ලවර්ස් ඩීප් සබ්මැරීන් ලෙස නම් කර ඇත්තේ, ලෝකයේ මහා ධනස්කන්දයක් ඇති පවුල්වල උදවිය දූ දරුවන්ගේ මධුසමය ගතකිරීම වෙනුවෙන් මෙම හෝටලය තෝරාගන්නා බැවිනි. අමරණීය වූ මධුසමයක මතක වෙනුවෙන් මෙම මුහුදු පතුලේ රඳවා ඇති සබ්මැරීන හෝටලය තෝරාගන්නේ මනාල යුවළ පමණක් නොවේ. ලෝකයේ බොහෝ සල්ලිකාර පවුල්වලට අයත් ආදරවන්තයන් මෙහි දිනක් ගත කිරීමට රිසි බව, මීට ඇති ඉල්ලුම අනුව කිව හැකිය. වෙසෙසින්ම මෙය තනා ඇත්තේ දෙදෙනකුට පමණක් ඉඩ පහසුකම් ඇති විදිහටය.
 
මෙම සබ්මැරීන හෝටලයේ සිටින විට දනවන්නේ වෙනමම ලෝකයකට ගියාක් මෙන් වූ හැඟීමකි. සාගර අභ්‍යන්තරයේ වටපිටාව විසිතුරු මසුන්ගෙන් සහ අලංකාර මුහුදු පැළෑටි මෙන්ම පාට – පාට කොරල් වැනි පාෂාණවලින් සමන්විතය. විචිත්‍ර සිතුවමක් මෙනි. නිල් පාටට හුරු ඒ පරිසරය දිහා ඕනෑ තරම් වේලාවක් බලා සිටිය හැකිය. එහි සිටින විට මෙලෙසින් සබ්මැරීනයක ඇතුළත සිට මුහුදු අභ්‍යන්තරයේ සිටින වග අමතක වන තරම්ය. සේවා සැපයීම වෙනුවෙන් සූපවේදියෙකු මෙන්ම ආහාරපාන පිළිගැන්වීමට වෙනම සේවකයෙකු යොදවා තිබේ. නිදන කාමරය සකසා ඇත්තේ මුහුදු අභ්‍යන්තරයේ රමණීය දර්ශන දැකගත හැකි අයුරිනි. මෙහි දිනක් ගත කිරීම යනු සොඳුරුතම අත්දැකීමකට එහා ගිය සදාදරණීය සිහිවටනයකි. පෙර වර්ෂවලදී යුවළක් සඳහා වූ අයකිරීම ලෙස සඳහන් වූයේ ඩොලර් 1,50,000 ත් 1,75,000 ත් අතර මුදලකි. එහෙත් මෑතකදී මෙහි යුවළක් සඳහා දිනකට අය කරන ගාස්තුව ලෙස සඳහන්ව ඇත්තේ, ඩොලර් 2,92,000 ක් ලෙසය. ලංකා මුදලින් ගතහොත් එය රුපියල් ලක්ෂ 900 කට හෙවත් කෝටි 9 කට ආසන්න මුදලකි. පුදුමයි නේද? ඒත් ඇත්තයි!
 
 
කොකෝමෝ දූපතේ දිනක් ගත කිරීමට කෝටි 15ක්
 
මුහුදු අභ්‍යන්තරයෙන් මතුපිටට ඇවිත්, ගොඩබිම ඇති තරු හෝටල අතරින් වඩාත් මිල අධික ෆිජී දූපත්හි ඇති කොකෝමා (Kokomo) ප්‍රයිවට් අයිලන්ඩ් ගැන සඳහන් කළ යුතුම වන්නේ එය හෝටලයකට එහා ගිය දූපතක් වන බැවිනි. එනිසා කවරෙකු හට හෝ එහි නතරවීමට අවශ්‍ය නම් මුළු දූපතම වෙන් කරවාගත යුතුය. ඒ සඳහා ඩොලර් ලක්ෂ 500,000 ක් ගෙවිය යුතු වේ. ලංකා මුදලින් නම් කෝටි 15 කට එහා ගිය මුදලකි. ඔස්ට්‍රේලියානු ජාතික දේපළ සංවර්ධන ව්‍යවසායකයෙකු වන ලැන්ග් වෝල්කර් විසින් සංචාරක ලෝකයට හඳුන්වා දුන් මෙම දූපත ඔහු හඳුන්වන්නේ, මිහිපිට ඇති සොඳුරුතම පාරාදීසය ලෙසය. මෙම දූපත සොයාගැනීමෙන් පසු එය නිවාඩු නිකේතනයක් බවට පරිවර්තනය වූයේ සියලු සුඛෝපභෝගී පහසුකම් සහිතවය. ගොඩබිම සහ ජලයේ ක්‍රියාත්මක කළ හැකි සී ප්ලේන් සහ පුද්ගලික ජෙට් යානාවලට අමතරව ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, හොංකොං, සිංගප්පූරුව, ජපානය, කැනඩාවේ වැන්කුවර් සහ ඇමෙරිකාවේ සිට මෙම දූපත සඳහා ගුවන් ගමන් ජාත්‍යන්තරව ක්‍රියාත්මක වීම විශේෂත්වයකි. 
 
Kokomo Pvt Island
සන්රයිස් විලා, සන්සෙට් විලා යනුවෙන් දූපතෙහි මාලිගා වැනි සුපිරි පහසුකම් සහිත නිකේතන ඇත්තේ වෙන් වෙන් වශයෙනි. ඒවා පවුලකට, දෙදෙනෙකුට, තිදෙනෙකුට ලෙස වර්ග කර ඇත. පවුල් පහකට පමණ ගැළපෙන සුවිශාල මාලිගය මෙහි ඇති විශාලතම ගෘහස්ථය වේ. කිමිදීමට, පිහිනීමට, මසුන් ඇල්ලීමට පමණක් නොව විනෝදාස්වාදය සඳහා වූ බොහෝ ඉසව් ඇතුළත්ය. සම්බාහනය සඳහා මෙහි ඇති ස්ථානය හඳුන්වා දී ඇත්තේ ‘යුකුවේ ස්පා අභය භූමිය’ නමිනි. ජීවිතය ආපස්සට හරවා ගැනීම හෙවත් තාරුණ්‍යයට එළැඹීම එහිදී කෙරෙන සම්බාහන සහ ප්‍රතිකාර නිසා සිදුවන බව සඳහන් කළ හැකිය.
 

ඇමෙරිකාවේ The Palm's

 

ලාස්වේගාස්හි ද පාම්ස්
 
The Palm's - ලක්ෂ 100ක්
 
ඇමෙරිකාවේ ලාස්වේගාස් යනු නොනිදන නගරයකි. සමහරුන්ට රාත්‍රිය රාත්‍රිය මෙන් නොදැනෙන අතර, දහවල දහවල මෙන් නොදැනෙන තරමට මෙම පාම්ස් තරු හෝටලය විනෝදය සඳහාම නිර්මාණය වූ හෝටලයක් වැනිය. ධන කුවේරයන් තම ධනය කැසිනෝ සූදු ක්‍රීඩාව වෙනුවෙන් යොදාගැනීම සඳහා පමණක් නොව, මෙහි විවේකය ගත කිරීමට පුරුද්දක් ලෙස පැමිණීම සිදු කරයි. තරු හෝටලයක ඇති කාමර වර්ගීකරණය වන අතර, මෙහි ඇති කාමර වර්ගීකරණය අංශ 25 කට අයත්ය. නෙවාඩාහි අගනගරය වන ලාස්වේගාස්හි මහල් සංකීර්ණයක් මෙන් පාම්ස් හෝටලය දැකගත හැකිය. එක් රාත්‍රියක් සඳහා මෙහි වියදම ඩොලර් ලක්ෂයකි. ලංකා මුදලින් ලක්ෂ 100 කට වඩා වැඩිය.
 
ස්විට්සර්ලන්තයේ ජිනීවා නගරයේ ඇති හොටෙල් ප්‍රසිඩන්ට් විල්සන්
Hotel President Wilson
 
ලක්ෂ 250ක්
 
ලාස්වේගාස් නුවරින් පසුව අපි, ලොව සුඛෝපභෝගී රටක් වන ස්විට්සර්ලන්තය වෙත යමු. හොටෙල් ප්‍රසිඩන්ට් විල්සන් ඇත්තේ ජිනීවා නුවරය. හෝටලයක දී මේ තරමටම අවට පරිසරයේ ඇති රමණීයත්වය දැකගැනීමට ඇත්නම් ඒ, මෙම සුපිරි හෝටලයම වේ. ජිනීවා විල දර්ශනය වන පරිදි කාමර සියල්ල තනා තිබේ. අංශක 360 ක දර්ශනය මවන සුන්දරත්වය නෙතට සදන්නේ රසඳුනක්මය. 1962 දී ඇරඹි මෙම සුපිරි හෝටලය 1980 දී ස්විස් එයාර් සහ නෙස්ලේ සමාගම් විසින් අත්පත් කරගෙන ඇත. තම්මන් පවුලට අයත් වූ මෙම හෝටලය නවීකරණය කිරීමෙන් අනතුරුව නැවත විවෘත වූයේ ප්‍රසිඩන්ට් විල්සන් නමිනි. විල්සන් ලෙස නම යොදා ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංගමය ගොඩනැගීම වෙනුවෙන් ඇමෙරිකානු ජනපතිවරයෙකු වූ වුඩ්රෝ විල්සන් කළ කැපවීම සඳහා වූ ගෞරවයක් ලෙසය. 2017 දක්වා ලොව මිල අධිකම හෝටලය ලෙස හැඳින්වූයේ මෙයයි. මෙහි දෙදෙනකු සඳහා එක් රාත්‍රියක් වෙනුවෙන් ඩොලර් 80,000 ක් හෙවත් ලංකා මුදලින් ආසන්න වශයෙන් ලක්ෂ 250 ක් පමණ අය කෙරේ.
 
  ද මාක් හොටෙල්
The Mark Hotel - ලක්ෂ 230ක්
 
නිව්‌යෝර්ක් නගරයේ පිහිටි මෙම තරු හෝටලයට ලෝක තරු නිතර රොද බඳින ස්ථානයක් වන්නේ, ඇතුළත කලාගාරයක් මෙන් වූ නිසාය. ඒ හැරත් මෙහි ගෘහස්ථ අලංකරණ කටයුතු සහ අනෙකුත් නිමැවුම් කටයුතු වෙනුවෙන් විවිධ අංශවලට අයත් ලෝ ප්‍රකට නිර්මාණ ශිල්පීන්ගේ දායකත්වය ලබාගෙන ඇත. ඇඳ – මේස – පුටු ඇතුළු ගෘහ භාණ්ඩ මෙම හෝටලය සඳහාම විශේෂිතව නිර්මාණය කර ඇති වග සඳහන්ය. මහලින් මහල සහ කාමරයෙන් කාමරයට වෙනස් ලෙස නිර්මාණය කර තිබීම එහි තවත් විශේෂත්වයකි. ලෝකයේ වඩාත් ආකර්ෂණීය විලාසිතා දැක්මක් වන ‘Met Gala’ වාර්ෂිකව මෙහි පැවැත්වෙන්නේ ලෝ ප්‍රකට තරු රැසකගේ සහභාගීත්වයෙනි. මෙම විලාසිතා දැක්මෙහි අරමුණ පුණ්‍යාධාර සඳහා අරමුදල් රැස් කිරීමය. ලෝකයේ පැවැත්වෙන වඩාත් අලංකාර හා ආකර්ෂණීය විලාසිතා දැක්ම වන Met Gala මෙහි පැවැත්වීම නිසා බොහෝ දෙනා අතර මෙම හෝටලය ප්‍රකටව ඇත්තේ Met Gala Hotel යනුවෙනි. මෙහි ඇති සුඛෝපභෝගී කාමරයක මිල රාත්‍රියක් සඳහා ඩොලර් 75,000 ක් පමණ යැයි සඳහන් වේ. එනම් ශ්‍රී ලංකා මුදලින් ලක්ෂ 230 කට පමණ එහා මුදලකි.
 
Atlantis The Palm Dubai

ඩුබායි වැලිකතරේ තැනූ රාජකීය මන්දිරයක් බඳු මෙම හෝටලයේ ඇති රෝයල් මැන්ෂන් (Royal Mansion) සුපිරි කාමරයෙහි රාත්‍රියක් ගත කිරීම වෙනුවෙන් ඩොලර් ලක්ෂයක් හෙවත් රුපියල්වලින් නම් ලක්ෂ 300 කට වඩා වැඩි මුදලක් අය කෙරේ. සුපිරි පහසුකම් සහිත කාමර 1548 ක් ඇති මෙහි, අන්ඩර්වෝටර් රූම්ස් හෙවත්, දිය යට තැනූ කාමර පවා ඇතුළත්ය. මෙම හෝටලය සතු ජල උද්‍යානයෙහි සාගර සතුන් 65,000 කට වඩා ඇති වග සඳහන්ය. මෙය විවෘත කිරීමේ උළෙලේ දී 2008 බීජිං ඔලිම්පික් උළෙලෙහි සමාරම්භක අවස්ථාවේ භාවිත කළ ගිනිකෙළි සංදර්ශනයට සමාන ගිනිකෙළි සංදර්ශනයක් පවත්වා ඇත්තේ, කිලෝමීටර 5 ක පමණ වපසරියක ප්‍රදර්ශනය වන අන්දමටය. වැලිකතරේ දූපතක් මෙන් වූ ස්ථානයක මෙම ඇට්ලාන්ටිස්ද රෝයල් සුපිරි හෝටලය තනා ඇති අයුරු දැකගත හැකිය. ලෝ ප්‍රකට සුපිරි තරු ගමනාන්තගත වීමට වඩා කැමති සුපිරි හෝටලයක් ලෙස හැඳින්විය හැකි මෙහි, ශ්‍රී ලාංකිකයෝද සේවයේ යෙදී සිටිති.

ෆෝර් සීසන්ස් හොටෙල් නිව්යෝර්ක්
Four Seasons 
- ලක්ෂ 180ක්
 

Hotel President Wilson


 

අඩි 682 ක් උසැති කුලුනක් මෙන් වූ උස් ගොඩනැගිල්ලක් ලෙස තැනූ නිව්‌යෝර්ක් ෆෝර් සීසන්ස් හෝටලය යනු කාමර 368 ක් සතු සුපිරි හෝටලයකි. එහි අතිසුඛෝපභෝගී කාමර 15 අතරින් එක් කාමරයක් සඳහා එක් රාත්‍රියක දී මිල ඩොලර් 60,000 කි. එනම් රුපියල් ලක්ෂ 180 කට වඩා වැඩි මුදලකි. මෙහි ඇති ගෘහ භාණ්ඩද මෙම හෝටලය සඳහාම විශේෂිතව නිමවූ ඒවාය. අනෙකුත් තරු හෝටලවල සිටින සේවක සංඛ්‍යාවකට වඩා පිරිසක් මෙහි සේවයට යොදා තිබීම විශේෂත්වයක් ලෙස සඳහන් කළ හැකිය. ෆෝර් සීසන්ස් යනු ලොව බොහෝ රටවල ව්‍යාප්තව ඇති හෝටල් නාමයක් වෙන අතර, කැනේඩියානු සමාගමක් විසින් වසර 60 කට පෙරදී ඇරඹි සංචාරක හෝටල් සේවාවකි.

එක් රාත්‍රියකට ඩොලර් 50,000 ට වැඩි (රුපියල් ලක්ෂ එකසිය පනහකට වඩා වැඩි) තවත් තරු හෝටල කිහිපයකි. 

ප්‍රංශයේ කෑන්ස්හි (Cannes) (කාන්ස්) ඇති හොටෙල් මාටිනස් (Hotel Martinez) හි සුපිරි කාමරයක මිල රාත්‍රියකට ඩොලර් 56,000 කි.

ඇමෙරිකාවේ ෆ්ලොරීඩාහි ෆාඊනා මියාමි බීච් හෝටලයේ එක් රාත්‍රියක් සඳහා ඩොලර් 54,000 කි. (කාමර වර්ගීකරණය අනුව) ඩොලර් 65,000 ක් අය කරන බවද සමහර වාර්තාවල සඳහන් වේ.

ග්‍රීසියේ ඇතැන්ස්හි ග්‍රෑන්ඩ් රිසෝට් ලොන්ගෝනිසි රෝයල් විලා හෝටලයෙහි ඇති සුපිරිම 

කාමරයෙහි මිල එක් රාත්‍රියක් සඳහා ඩොලර් 52,000 කි.

ලන්ඩනයේ ඇති Claridge's (ක්ලැරිඩ්ජ්) හෝටලයෙහි Penthouse හි ඇති සුපිරි කාමරයෙහි මිල ඩොලර් 65,000 ක් ලෙස සඳහන් වේ. අමුත්තන් 10 දෙනකුට ආහාරපාන ගැනීමේ පහසුකම මෙහි සපයා ඇත.
 

Four Seasons


 

මේවාට අමතරව, හොංකොංහි රෝස්වුඩ් හෝටලය, සිංගප්පූරුවේ රැෆල්ස් (Raffles), පැරිසියේ රෝස්වුඩ් හෝටල සමූහයට අයත් හොටෙල් ඩි ක්‍රිලන් (Hotel de Crillon) සහ මොරොක්කෝවේ Royal Mansour (රෝයල් මොන්සුර්) මොන්ටිකාලෝහි ඇති හොටෙල් ඩි පැරිස් යනු ඉහත සඳහන් කළ හෝටල්වල මිල ගණන්වලට තරමක් අඩුවෙන් අය කෙරෙන සුපිරි හෝටල කිහිපයකි. ඒ සියලු හෝටල්වලට අමතරව මාලදිවයිනේ ඇති Velaa (වේලා) පුද්ගලික දූපත ගැන ද සඳහන් කළ යුතුමය. මෙම දූපත සතුව වෙන් වෙන් වශයෙන් මන්දිර 47 ක් ඇත. අමුත්තන් 134 දෙනෙකුට ඉඩ පහසුකම් ඇති මෙම දූපත වෙන්කරවා ගැනීමට නම් එක් රාත්‍රියක් සඳහා ඩොලර් ලක්ෂ 10 ක් (මිලියනයක්) ගෙවිය යුතුය. රුපියල් ලක්ෂවලින් නම් ලක්ෂ 3000 කට වඩා වැඩි මුදලකි. පුදුමයි නේද? ඒත් ඇත්තයි!

 

 

 

Atlantis The Palm Dubai
(සංචාරක ක්ෂේත්‍රයේ අන්තර්ජාල නවතම තොරතුරු අළලා සැකසූ ලිපියකි.)
 

සඳුන් ගමගේ