කොදෙව් බල බිදීම



විස්සයි20 තරග 3 ක් සහ එක්දින තරග 3කට සහභාගී වීම පිණිස ශ්‍රී ලංකාවට පැමිණි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු විස්සයි20 තරගය අද දඹුල්ලේ දී ඇරඹෙයි. විස්සයි20 තරග තුනම දඹුල්ලේ පැවැත්වීම විශේෂත්වයකි. ඒ අනුව ඉතිරි තරග දෙක එළැඹෙන අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා පැවැත්වෙයි. 

කොදෙව් කණ්ඩායම සමග විස්සයි20 තරගාවලියක් යනු අතිශය සුන්දර සහ තියුණු තරගාවලියකි. මේ නිසාම මේ තරග තුන දෙස විමසුම් ඇසින් බලා සිටීම වටී. මේ තරගාවලියට කොදෙව්වන් එන්නේ CPL තරගාවලිය හමාර වීමෙන් පසුවය.  එම තරගාවලියේ දක්ෂතාව දැක්වූවන් කිහිප දෙනෙකුටම මෙවර අවස්ථාව ලැබී ඇත. එහෙත් අන්ඩ්‍රේ රසල්, නිකලස් පූරාන්, ශිම්රොන් හෙට්මයර් සහ අකිල් හුසේන් යන ක්‍රීඩකයන් මෙවර තරගාවලියට එන්නේ නැත. 

ඒ අනුව බැලූ බැල්මට මේ කණ්ඩායම ප්‍රබල නැත. එය ශ්‍රී ලංකාව පැත්තෙන් වාසියක් වෙන බව පැහැදිලිය. එහෙත් අප අමතක නොකළ යුත්තේ මේ කොදෙව් කණ්ඩායම අවසන් වතාවට පැවති විස්සයි20 තරගාවලියේ දී දකුණු අප්‍රිකාව හමුවේ 3-0 ක තරගාවලි ජයක් ලැබූ බවය. අනෙක් අතින්, කොදෙව් කණඩායම මේ වනවිට සිටින්නේ ශ්‍රේණිගත කිරීම් අතර 3 වැනි ස්ථානයේය. ශ්‍රී ලංකාව සිටින්නේ 08 වැනි ස්ථානයේය. මේ අනුව මේ කණ්ඩායම් දෙක අතර වෙනස පැහැදිලිය. 

කොදෙව් ආරම්භක පිතිකරුවන් දෙදෙනා, ඇලෙක් ඇතන්ස් සහ ෂේයි හෝප්, දකුණු අප්‍රිකාවට එරෙහි තරගාවලියේ දී ඉතා හොඳින් පන්දුවට පහර දුන්හ. ඔවුන්ගේ ජයග්‍රහණයට ප්‍රධාන හේතුව වූයේ ද මේ ක්‍රීඩකයන් දෙදෙනාය. එසේම, රොමාරියෝ ෂෙෆර්ඩ් ඉතා හොඳින් පන්දු යැව්වේය. මේ නිසා ප්‍රබල නැතත් කොදෙව්වන් අවතක්සේරු කළ නොහැක. කණ්ඩායමට අලුතින් එක්වෙන්නේ ටෙරන්ස් හයින්ඩ් සහ ෂේමර් ස්ප්‍රින්ගර් යන දෙදෙනාය. ස්ප්‍රින්ගර් මෙවර CPL තරගාවලියේ දී ‘ඇන්ටිගුවා ඇන්ඩ් බාබුඩා ෆැල්කන්’ කණ්ඩායම වෙනුවෙන් වැඩිම කඩුලු ලාභියා විය. ඔහුගේ පන්දු යැවීම, ශ්‍රී ලංකා තණතිලිවලට ගැළපේ යැයි විශ්වාස කෙරේ. එහෙත් ප්‍රධාන දඟපන්දු යවන්නා ලෙස මෝටේ ක්‍රීඩා කරද්දී, ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කර පුරුදු ඇති ෆේබියන් ඇලේන් සහ රොස්ටන් චේස් දඟපන්දු යවන්නන් ලෙස සහායට එනු ඇත. මේ නිසා තවත් දඟ පන්දු යවන්නෙකු කණ්ඩායමට අවශ්‍ය ද යන ප්‍රශ්නය එනු ඇත. 

රොව්මාන් පවල්, රොස්ටන් චේස්, ඇතනස් හෝප්, අන්ඩ්‍රේ ෆ්ලෙචර් සහ ෂර්ෆේන් රදර්ෆර්ඩ් යන පිතිකරුවන් දෙස බැලූ විට පිතිකරු ලැයිස්තුව ශක්තිමත් බව පෙනේ. අල්සාරී ජෝශප් සහ රොමාරියෝ ෂෙෆර්ඩ් ප්‍රධාන වේග පන්දු යවන්නෝ වෙති. දඹුල්ලේ දී වේග පන්දුව දැඩි ප්‍රශ්නයක් නොවූවද අල්සාරී ජෝශප් ඕනෑම තත්ත්වයක් යටතේ පිතිකරුවන්ට තර්ජනයකි. 

කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකාවේ දී සාර්ථක විස්සයි20 කණ්ඩායමකි. ශ්‍රී ලංකාවේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව තරග 6 ක් ක්‍රීඩා කර ඇති කොදෙව්වන් ඉන් තරග 4 ක්ම ජයග්‍රහණය කර තිබීම විශේෂත්වයකි. මේ අතරට 2012 ලෝක කුසලාන අවසන් තරගයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ලැබූ ජයග්‍රහණයද ඇතුළත් වෙයි. 2020 වර්ෂයේ දී අවසන් වතාවට ශ්‍රී ලංකාවේ පැවති අවසන් තරග දෙකම ජයගැනීමටද කොදෙව්වෝ සමත් වූහ. 

මෙවර තරගාවලියට සහභාගීවෙන ශ්‍රී ලංකා කණ්ඩායම නම්කිරීමේදී, කාලයක් තිස්සේ විස්සයි20 කණ්ඩායමේ සිටි දසුන් ශානක කණ්ඩායමෙන් ඉවත් කර තිබේ. එය සිදුවිය යුතුව තිබූ දෙයකි. චමිඳු වික්‍රමසිංහගේ දක්ෂතා හේතුවෙන්, දසුන් ශානකට ස්ථානය අහිමිවෙන බව පැහැදිලිවම පෙනෙන්නට තිබූ දෙයකි. එය සිදුවීමට නියමිතව තිබූ දෙයක් බව දසුන් ශානකද දැන සිටින්නට ඇත. පැතුම්, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, චරිත් අසලංක, චමිඳු වික්‍රමසිංහ, මතීෂ පතිරණ, අසිත ප්‍රනාන්දු, වනිඳු හසරංග, කමිඳු මෙන්ඩිස්,  ජෙෆ්රි වැන්ඩසේ සහ දුනිත් වෙල්ලාලගේ බොහෝ විට ක්‍රීඩා කළ හැකි කණ්ඩායම වී තිබේ. වැන්ඩසේ වෙනුවට මහීෂ් තීක්ෂණ එනවාද නැද්ද යන්න ගැන පමණක් සංවාදයක් තිබිය හැකිය. අනෙක් අතින්, කණ්ඩායමට නැවත කැඳවූ භානුක රාජපක්ෂ ඇතුළත් කර එක් පන්දු යවන්නෙකු අඩු කරනවාද නැද්ද යන්න ගැනද කතා බහක් ඇති වී තිබේ. කෙසේ වුවද, දඹුල්ලේ දී දඟ පන්දු යවන්නන් සමග ක්‍රීඩා කිරීමෙන් ශ්‍රී ලංකාවට පාඩුවක් වෙන්නේ නැත. 

මේ තරගාවලිය දෙස බලද්දී පැතුම් නිස්සංකගෙන් උපරිමයක් බලාපොරොත්තු විය හැකිය. ඒ කොදෙව් කණ්ඩායම ඔහු ප්‍රිය කරන කණ්ඩායමක් නිසාය. එසේම, චරිත් අසලංකට විශේෂ කාර්යයක් පැවරී තිබේ. ඉන්දියාව හමුවේ 3-0 ක් ලෙසින් විස්සයි20 තරගාවලිය පරාජය වීම නිසා මේ තරගාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට අතිශය වැදගත් වෙයි. එසේ නොවන්නේ නම්, විස්සයි20 තරග අංශයෙන් ඉදිරියට යෑම ගැන සිතීම අපහසුය. එහෙයින් කොදෙව් කණ්ඩායමට කෙසේ වෙතත්, මේ තරගාවලිය ශ්‍රී ලංකාවට අතිශය බරපතළ ලෙස ජයග්‍රහණයක් අවශ්‍ය වෙන තරගාවලියකි.

ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම එසේ සූදානම් වෙද්දී ලෝක කුසලානයට ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අසාර්ථක විය. පසුගිය සතියේ දී ද අප කියූවේ මෙය එතරම් ලෙහෙසි කටයුත්තක් නොවන බවයි. එහෙත් පාකිස්ථානය, ඉන්දියාව සහ නවසීලන්තය යන කණ්ඩායම් තුනම ශ්‍රී ලංකාවේ දී පරාජය කර තිබූ කණ්ඩායම තරම් අවසන් පූර්ව තරගයක් දක්වා යන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් මෙතෙක් බිහිවී නැත. අවාසනාවට පාකිස්ථානයට එරෙහි තරගයේ ලකුණු 78 කට කඩුලු 8 දවා ගත් පසුව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ දුර්වල තරග රටාවක් පෙන්වා තරගය අත්හැර ගත්හ. එහි ප්‍රතිඵලය වූයේ, තරගාවලියම අපෙන් අත්හැරීමයි. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පැත්තෙන් ගන්නේ නම් මෙය ඉතා වටිනා පාඩමකි. අනෙක් අතින්, අප අමතක නොකළ යුත්තේ, සියලු පිතිකාරිනියන්ගේ රිද්මය මේ තරගාවලියේ දී ගිලිහී ගිය බවයි. ඒ නිසාම ශ්‍රී ලංකාවට වටිනා 
අවස්ථාවක් ගිලිහුණි.

එහෙත් මේ පරාජයෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම තවත් ඉතා හොඳ පාඩමක් ඉගෙන ගන්නවා විනා, මේ පරාජයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට පහළට වැටෙන්නේ නැත. එහෙයින් දුක් ගීත ලිවීමේ තේරුමක් නැත. ඒ වෙනුවට ඔවුන්ට ශක්තියක් විය යුතුය. අනෙක් අතින්, ඔස්ට්‍රේලියාව, එංගලන්තය වැනි ප්‍රධාන කණ්ඩායම් මේ තරගාවලියේ දී ක්‍රීඩා කරන ආකාරය හොඳින් නිරීක්ෂණය කළහොත්, අපට අඩු වී ඇත්තේ කුමක්ද යන්නද වැටහෙනු ඇත. එහෙයින් මේ පරාජය ජයග්‍රහණයක ආරම්භයක් කර ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කටයුතු කළ යුතුය. 


  • කාංචන දසනායක