යන්න.. ගිහින් එන්න...
ඒත් කිසි විටෙකත් මේ තැන අපවිත්‍ර කරන්න නම් එපා......
ඔබගේ දෑස් වසා අපි ඔබ හරි අපූරු කලාපයකට කැඳවාගෙන යන්නෙමු. සහතිකයි ඔබ මවිත වේවි, මේ ඔබ සිටින්නේ නුවරඑළියේද, මන්නාරමේද? නැතහොත් නුවර මෙන් සෞම්යබවක් දැනෙන තැනකද යැයි ඔබට සිතා ගත නොහැකි වේවි. අතිශයෝක්තයකින් තොරව කිවහොත් මේ වගේ පළාතක් ඇත්තේ ලෝකයේ අපට විතරක්ම බව සඳහන් කළ හැකිය. ජීවිතේ ප්‍රීති සංචාරයක් කරගෙන නේක තැන්හි සැරිසරන සැරිසරන්නන් වෙනුවෙන් මේ සටහන බෙහෙවින් වැදගත් වේවි.
බලංගොඩ කී සැනෙකින් අපට මුලින්ම මතකයට නැගෙන්නේ අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රිය හිමිගේ නාමයයි. එමෙන්ම බලංගොඩ ආදි මානවයා ගැන වූ ඉතිහාසය ගැනයි. බලංගොඩ කල්තොට ගැන ඔබ දන්නේ මොනවාද? මෙහි සැරිසරන අයගෙන් විමසුවහොත්, මේ තමයි තැන කියා ඒ හැමෝම කියාවි. සහතිකෙන්ම ලංකාවේ යා යුතුම හොඳම රස්තියාදුව, නැතහොත් ගත සිත නිවන සොඳුරුතම ගමනාන්තය බලංගොඩ කල්තොට යැයි ඕනෑම සැරිසරන්නෙකු කියාවි. ඇයි කල්තොට එහෙම වෙන්නෙ?
මේ ප්‍රදේශය දිස්ත්‍රික්ක තුනකට මායිම් වීම, හේතුවෙන් මේ පාරිසරික වෙනස අත්විඳිය හැකිය. තෙත්, වියලි, සෞම්‍ය, ශුෂ්ක යන මේ සෑම දේශගුණයක ඇති කාලගුණික දේශගුණික ස්වභාවයන් අත්විඳගත හැකි වෙන්නේ එනිසාවෙනි. එහිදී දකින, විඳින පාරිසරික වෙනසෙහි රසය ලංකාවේ වෙනත් කිසිම තැනෙකදී අත්විඳි නොහැකි යැයි යළි යළිත් සඳහන් කළ හැකිය.
හරිත නිම්න, ගල් ගුහා, වියලි ස්ථාන, සියොතුන්ගෙන් පිරි වන උයන්, විවධ සිව්පාවුන්, මල් උයන් මෙන් වූ ස්ථාන, හීන් සැරේ වැටෙන පොද වැස්ස, සීත මීදුම, ගංගා, දිය ඇලි. ඒ වෙනස අත්විඳිද්දී දෙවියනේ මේක නම් හීනයකැයි ඔබට හැඟේවි. මේ වෙනස අපි හරිත සංධ්වනිය ලෙස නම් කරමු.
මෙම හරිත සංධ්වනිය ගතට සිතට ගෙන දෙන සැහැල්ලුව වෙන කිසිම තැනෙකදී අත් විඳි නොහැකිය. ලංකාවේ නොකිළිටි වූ සොබාදහමේ සුන්දරම පාරාදීසය ලෙස මේ පළාත නම් කළ හැකිය. මෙහි සංචාරය කරන්නන් පවසන පරිදි එහි ගොස් ආ පසු දැනෙන්නේ ජීවිතය අලුත් වූවාක් මෙන් හැඟීමක්ය.
සංචාරක පිපාසාවෙන් පෙළෙන බොහෝ දෙනා තවමත් නොගිය මේ නිකැලැල් තෝතැන්නට පිරිසක් එන්නේ නම්, ඒ කූරගල පංසල වැඳපුදා ගැනීම වෙනුවෙනි. එනිසා කූරගල පංසල අවට කලාපය නම්, තරමක් දුරට නාගරීකරණය වෙමින් තිබෙනු දැකගත හැකිය. එපමණක් නොව ඒ අවට ගංගා, දිය ඇලි ඇති ස්ථාන අසල තැන තැන ප්ලාස්ටික් බෝතල, ආදි දේ පරිසරයට මුදාහැර ඇති අයුරු දැකගත හැකිය. කූරගල නිසා, පොඩි පොඩි නිවාඩු නිකේතන පවා බිහිව ඇත. මේ පළාතටම ඇති එකම නවාතැන් බංගලාව වන්නේ මහවැලියට අයත් බංගලාවය. මේ පළාත දෙස් විදෙස් සැරිසරන්නන් වෙත හඳුන්වාදිය හැකිය. එය ඔවුන් ජිවිතයේ ලබන හොඳම සංචාරක අත්දැකීමක් වෙනු ඇත. එනමුදු සිහි තබා ගත යුතු සහ අවධානයට ගත යුතු විශේෂම දෙය වෙන්නේ මේ පවිත්‍ර පරිසරය දූෂණය නොකිරීමට වග බලාගැනීමය. ජීවිතයේ සොඳුරුතම සංචාරයකට පාරාදීසයක් වෙන මේ පරිසරයේ සැරිසරන්න. ඒත් කිසි විටෙකත් මේ තැන් අපවිත්‍ර කරන්න නම් එපා.
විශේෂ ස්තුතිය ප්‍රවීන සිනමා සහ ටෙලි නිර්මාණවේදී සුදත් රෝහණ මහතාට.
- සඳුන් ගමගේ