ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි
- F35B, ප්‍රහාරක ජෙට් යානයේ මිල ඩොලර් මිලියන 136ක් පමණ වේ
(රුපියල් වලින් 26,790,285,448 පමණ වේ)
මිනිසා නැසීමට ආයුද හෝ යුද උපකරණ නිපදවීම කිසි විටෙකත් අනුමත කළ හැකි දෙයක් නොවේ. මිනිසා රැකීම උදෙසා අලුත්, අලුත් දේ සොයා ගැනීම මානව ප්‍රජාවේ ඒකායන අරමුණ විය යුතුය. කෙසේ වෙතත්, යුද ගැටුම් යනු, මිනිස් ප්‍රජාව බිහිවූ දා සිට පවතින්නකි. ලෝකයේ කොතැනක හෝ යුද්ධයක් පැවතීම සෑම කාල වකවානුවකදීම සිදුවන අයුරු අපට දකින්නට ලැබෙන දෙයකි. එසේ වුවද, සියලු ආගම් සහ ආගමික නායකයන් මානව ප්‍රජාව වෙත දායා ද කර ඇත්තේ, උගන්වා ඇත්තේ, සාමය මිසෙක යුද්ධය ගැන නම් නොවේ. ලෝක වසංගතයක් පවතින මේ මොහොතේ “කොරේ පිටට-මරේ” කීවාක් මෙන් රටවල් දෙකක් අතර යුද්ධයක්. ඒ ඊශ්‍රායලය සහ පලස්තීනය අතරය.
මෙවැනි මොහොතක එවැනි යුද්ධයක් කිසිවෙකු අපේක්‍ෂා කළ දෙයක් නොවේය. කෙසේ වෙතත් ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ඇතිවූ මෙම යුද්ධයේ දී භාවිත වූ උපකරණ ගැන මේ මොහෝතේ ලෝකයේ බොහෝ දෙනා කතා කරන බව පෙනී යයි. පෙර කී පරිදි ආයුද ගැන යුද්ධ ගැන කතා කිරීම අර්ථයක් නොමැති දෙයක් වුව ද, අප ඒ ගැන දැන සිටීම වැදගත් වන්නේ යැයි හඟිමු. ලෝකයේ සෑම රටකම ආරක්ෂාවට හමුදාවක් තිබේ. ඒ හමුදා හෙවත් මිලිටරි අංශ තම රටේ ආරක්ෂණ පද්ධතිය උදෙසා, භාවිත කරන යුධෝපකරණ, මෙන්ම ආරක්‍ෂක වැඩ පිළිවෙළ ද රටින් රටට වෙනස්ය. ලෝකයේ රටවල් බොහෝමයකට ආයුද සහ යුධෝපකරන නිෂ්පාදනය වන්නේ ද එකි රටවල ඉල්ලීම පරිදිය. එලෙසින් යුධෝපකරණ නිෂ්පාදනය කරන සහ අභ්‍යවකාශ - අංශය වෙනුවෙන්, නිෂ්පාදන කරන ලෝකයේ අංක එකේ සමාගමක් ගැන කතා කිරීමටයි අද අපේ සූදානම. ප්‍රකට සමාගම් ලොව දිනු විශේෂාංගය වෙතින් ඇමරිකාවේ ලෝක්හිඩ් මාටින් (ලොකීඩ් මාටින්) නම් වන එම සමාගම ගැන විස්තර අද අපි කියවමු.
ලොක්හීඩ් මාටින් කෝපරේෂන් (ලොකීඩ් මාටින්)
ලොක්හීඩ් මාටින් සමාගම හැඳින්වෙන්නේ, ඇමරිකාවේ ස්ථාපිත වූ අභ්‍යවකාශ, යුද ආරක්‍ෂක අංශ සඳහා නිෂ්පාදන සිදු කරන සහ විශේෂයෙන්ම උසස් තාක්ෂණය යොදා ගෙන ඒවා නිපදවන සමාගමක් ලෙසය. ප්‍රධාන අංශ හතරක් යටතේ නිෂ්පාදන කටයුතු සිදු කරයි.
මිසයිල, යුද ප්‍රහාරක යානා, රොකට්, අභ්‍යවකාශ යානා අභ්‍යවකාශ යානා සඳහා වූ අමතර කොටස්, තාක්ෂණික ඥාණය, තාක්ෂණය ආදිය ඒරෝස්පේස් (aerospace) අංශයට ඇතුළත්ය. ආම්ස් (Arms) යටතේ යුදමය උපකරණ (යුදායුද) නිෂ්පාදනය කරයි. ඩිෆෙන්ස් (Defenc) සහ සිකුරිටි හෙවත් ආරක්ෂක අංශ සඳහා වූ සියලුම උපකරණ නිෂ්පාදනය ආදී බොහෝ දේ සිදු කරනු ලබයි.
ලොක්හීඩ් මාටින්, යනු ඒකාබද්ධ සමාගමකි. ලොක්හීඩ් කෝපරේෂන් සහ මාටින් මැරිෂ්ටා කෝපරේෂන් යන ආයතන දෙකෙහි ඒකාබද්ධ වීමෙන් 1995 මාර්තු 15 වැනි දින ඇමරිකාවේ මේරිලන්ඩ් හි බෙතොස්ඩා නගරයේ දී ස්ථාපිත වූවකි. “ලෝක්හීඩ් මාටින් කෝපරේෂන්” බවට පත්වූයේ ඒ අනුවය. ලොක්හීඩ් (ලොකීඩ්) කෝපරේෂන් වෙනමම ගත් කළ එය, දිගු ඉතිහාසයක් ඇති පැරණි සමාගමකි.
ලොක්හීඩ් කෝපරේෂන් නමින් 1926 දෙසැම්බර් 13 වැනිදා ස්ථාපිත වූයේ ඒරෝස්පේෂ් (අභ්‍යවකාශ යානා සහ මිසයිල ආදී උපකරණ නිෂ්පාදනය කරන සමාගමක් ලෙසය) මාටින් මැරිස්ටා ස්ථාපිත වූයේ 1961 වසරේදීය. එයද ඇමරිකානු සමාගමකි. රසායනික ද්‍රව්‍ය අභ්‍යවකාශය හා සම්බන්ධ උපකරණ, ඉලෙක්ට්‍රොනික උපකරණ ආදිය නිපදවන සමාගමක් ලෙස එදා කටයුතු කර තිබේ. 1959 සිට 2005 දක්වා ටයිටන් (Titan) රොකට් ව්‍යපෘතිය යටතේ බැලැස්ටික් මිසයිල් ආදි මිසයිල් වර්ග ගණනාවක් ඇමරිකාව වෙනුවෙන් නිෂ්පාදනය කර දුන් බව සඳහන් වේ.
1995 දී ලොක්හීඩ් සහ මාටින් සමාගම් ද්විත්වය ඒකාබද් වීමෙන් පසුව ඉහත සඳහන් කළ ආකාරයට “ලොක්හීඩ් මාටින් කෝපරේෂන්” ප්‍රධාන අංශ හතරකට බෙදිගිය ලෙස යුධෝපකරණ සහ අභ්‍යවකාශ අංශය සඳහා උපකරණ නිෂ්පාදනය කිරීම සිදු කරනු ලබයි. එලෙස ඒකාබද්ධ වී ගමනක් යන ලොක්හීඩ් කෝපරේෂන් සහ මාටින් වැරිස්ටා කෝපරේෂන් බිහිකිරීමට පුරෝගාමි වූ අය කවුදැයි අපි විමසුම් කර බළමු.
ඇලන් සහ මැල්කම් ලෝහෙඩ් සහෝදරයන්
ඇලන් සහ මැල්කම් ලෝහෙඩ් නමැති සහෝදරයන් දෙදෙනා 1912 සිට 1920 දක්වා ලෝහෙඩ් (Loughead) නමින් ගුවන් යානා නිෂ්පාදන සමාගමක් පවත්වාගෙන ගොස් ඇත. ඔවුන් විසින් නිපදවන ලද ගුවන්යානා යොදා ගනු ලැබුවේ කැලිපෝර්නියාවේ භූමි දර්ශන නැරඹීමට දේශීය සංචාරකයන් වෙනුවෙනි. 1920 දී පමණ ගංවතුරට හසුවීම නිසා, විනාශ වූ අතර, පළමු ලෝක යුද්ධය සමග ඔවුනගේ ගුවන් යානා සඳහා ඉල්ලුමක් නොලැබිණි. ඒ සමාගම එකී ගුවන් යානා නිෂ්පාදන සමාගම වසා දැමුණු අතර මේ සහෝදරයන් දෙදෙනාගෙන් ඇලන් දේපොළ වෙළදාම කෙරෙහි යොමුවී කටයුතු කළ අතර, මැල්කම් මෝටර් රථ තිරිංග පද්ධති නිෂ්පාදන ක්‍රියාවලියක නිරත වී තිබේ. ඇලන් හේන්ස් ලෝහෙඩ්, 1880 ජනවාරි 20දා උපත ලැබුවේ කැලිෆෝනියාවේ නයිල්රි හිදීය. ඒ ෆ්ලෝරා සහ ජෝන් යුවළගේ, බාල දරුවා ලෙසය. ඇලන්ට වඩා වසර තුනකින් වැඩිමල් මැල්කම් ගුවන් යානා අංශයේ ඉංජිනේරුවරයකු ලෙස කටයුතු කළේය. ඇල්කෝ හයිඩ්‍රො ඒරෝප්ලේන් සමාගම එවකට පවත්වාගෙන ගියේ බාල සොයුරාව සිටි ඇලන් සෙන්ස්ගේ ද දායකත්වය ලබමිනි. මැල්කම් ජෝන්ගේ ප්‍රථම විවාහයේ දරුවා විය. ඇලන්, වික්ටර් සහ හෝප් නැගණිය කුඩම්මාගේ දරුවෝ වූහ. අයියා මැල්කම් මෙන් ඇලන් ද සිවිල් ගුවන් අංශයේ ඉංජිනේරුවරයකු ලෙස කටයුතු කළේය. ඉහත සඳහන් කළ ඇල්කෝ හයිඩ්‍රෝ ඒරෝප්ලේන් සමාගම පසුව ලොක්හීඩ් කෝපරේෂන් බවට පත්ව තිබේ. පසු කාළෙක එනම්, අප කතා කරන, වත්මනෙහි ලොව අංක එකේ යුධෝපකරන නිෂ්පාදනය කරන සමාගමක් ලෙස මාටින් මරිස්ටා සමග අත්වැල් බැඳ ගන්නා කාලය වන විට මේ සහෝදරයන් දෙදෙනා ජීවතුන් අතර නොවුණි. ඇලන් අවුරුදු 80ක් ආයු වළදා මිය ගියේ 1969 දීය. අයියා මැල්කම් මිය ගියේ 1958 දීය.
මාටින් මැරිස්ටා බිහි කළ ග්ලේන් ලූතර් මාටින්
ග්ලේන් ලූතර් මාටින් උපන්නේ 1886 ජනවාරි 17 වැනිදා ඇමරිකාවේ මැක්ස්බර්ග් ලෝවා හිදීය. වයස අවුරුදු දෙකක් සපිරුණූ විට ග්ලේන් හට පදිංචිය මාරු කිරීමට සිදුවූයේ, මින්ටා සහ ක්ලැරන්ස් මා පිය යුවළ කැන්සාස් සලීනා වෙත පදිංචියට ගිය නිසා වෙනි. එහි සිට ග්ලෙන්ගේ තාත්තා තිරිගු ගොවි පළක් පවත්වාගෙන ගියේය. ග්ලෙන් යනු උපතින්ම නිර්මාණශීලිත්වය රැගෙන ආ අයෙකු විය. තාත්තාගේ ගොවි පළේ සිටිය දී සරුංගල ඇරීමට ප්‍රිය කළ හෝ සරුංගලයට නව මුහුණුවරක් දෙමින් අලුත් නිර්මාණයක් කිරීමට සමත් විණි. හරියට කුඩා ප්ලේන් එකක අනුරුවට සමානව සරුංගල නිර්මාණය කළ අතර ගොවිපළ අවට සිටි අනෙකුත් පවුල්වල උදවියගෙන්, ග්ලෙන් හට ලැබුණේ ලොකු ඉල්ලුමකි. “අපටත් ඔයාගේ අලුත් සරුංගල නිර්මාණයක් කරලා දෙන්න යැයි ඔහුහට ඇණවුම් ලැබිණි. ඒ වෙනුවෙන් ශත විසිපහක මුදලක් ලැබිණි. මවගේ කුස්සිය තමාගේ සරුංගල් ප්ලේන් හදන වැඩපළ බවට පත් කරගත් ග්ලේන් හරි අමුතු වැඩ කාරයකු ලෙස ගමේ කා අතරත් ප්‍රකට විණි. අධ්‍යාපනයට ද ඉතා දක්‍ෂ වූ හේ කැස්සාස් වෙස්ලියන් සරසවියෙන් ගෞරව උපාධියකට හිමිකම් දැරීය. ළමා කාලයේ දී සරුංගල ගුවන් ගත කිරීමට ප්‍රිය කළ ග්ලේන් එදා රයිට් සහෝදරයන් එක්ව නිර්මාණය කළ විදියේ ගුවන්යානයක් නිර්මානය කළේ තුරුණූ වියේදීය. ඒ සඳහා ඔහු භාවිත කර තිබුණේ උණ බම්බු සහ සේද රෙදිය. පුතා මේ විදියට ගුවන් යානය සෑදීම දිවා රාත්‍රී නොබලා නිදි වර්ජිතව කරද්දී මව වූ “මින්ටා” ලාම්පුව දල්වාගෙන පුතුගේ නිර්මාණ කටයුත්තට උදව් කළාය. පසුව දිය ගොඩ සෑම තැන පියාසර කිරීමට තරම් නිර්මාණ ශීලිත්වයෙන් යුතු නිර්මාණ කිරීමට ග්ලෙන් උපන් හපනෙකු වූවේය. මෙම ග්ලෙන් ලූතර් මාටින් කොතරම් උගතකු වීද යත් මේරිලන්ඩ්හි සරසවියේ ඔහුගේ නමින් ශාලාවක් ද ඉදි කෙරිණි. කිසිවෙකු අනපේක්‍ෂිත නොකළ අයුරින් එක්වරම ඇති වූ හෘදයාබාධයක් නිසා වයස අවුරුදු 69ක් වූ ග්ලේන් 1955දී සඳහටම නෙත් පියා ගත්තේ, සිවිල් ගුවන් සේවා අංශයට සහ අනාගත ගුවන් යානා අංශයට දැණුම් සාගරයක් ඉතිරි කරමිනි. ග්ලේන්ගේ මරණින් පසුව ඔහු විසින් බිහි කළ සමාගම මාටින් මැරිස්ටා නමින් පසුව ඒකාබද්ධ සමාගමක් බවට පත්වුණි. ලොක්හීඩ් කෝපරේෂන් සමග මැරිස්ටා ඒකාබද්ධ ගමනක් අරඹන විට ඉහත නම් කළ පුරෝගාමීන් ජීවතුන් අතර නොමැති වූ අතර, ගමන ද වෙනස් වූ බව කිව හැකිය. එනම් එදා මැල්කම් සහ ඇලන් සොයුරන් දෙනො සහ ග්ලෙන් බිහි කළ සමාගම් පැවැතියේ යුධෝපකරන සහ නවීන තාක්ක්‍ෂණය රැගත් අති නවීන බිහිසුණූ යුද උපකරන බිහි කරන සමාගම් හැටියටය නම් නොවීය.
ලොක්හීඩ් මාටින්
ලොක්හීඩ් කෝපරේෂන් සහ මාටින් මැරිස්ටා ඒකාබද්ධ ගමනකට මුල පිරීම වෙනුවෙන් සාකච්ඡා ඇරඹියේ 1994 මාර්තු 30 වැනිදාය. ඒ වෙනුවෙන් ඩොලර් බිලියන 10ක් ආයෝජනය කර තිබිණ. ඒකාබද්ද වීමෙන් අනතුරුව වඩා ශක්තිමත් පදනමක් ලොක්හීඩ් මාටින් කෝපරේෂන් ලබා ගත්තේය. රජයෙන් ලද ඇණවුම් මත ලාභ ලබන ආයතනයක් බවට පත්වූයේ ඉතා කෙටි කළෙකිනි. ලොක්හීඩ් මාටින් 'F-35' අකුණූ පහර නමැති ප්‍රහාරක ගුවන් යානා 3000ක ඇණවුමක් ඔවුනට ලැබුණේ 2001 වසරේදීය. එය සුවිශාල ජයග්‍රහණයක් විය. යුද්ධය කුරිරුය, බිහිසුණුය. නමුත්, යුද්ධයේ දී, භාවිත කිරීම වෙනුවෙන් සහ ප්‍රහාරයන් සඳහා නිපදවූ යානා සහ උපකරණ පද්ධති නම් බැලු බැල්මට වඩා ආකර්ශනීය යැයි සඳහන් කළ හැකිය. ලස්සන යටින් නැත්නම් පිටුපස ඇත්තේ බිහිසුණූ බව යැයි තේරුම් ගැනීමට මේවා කදිම නිර්මාණය.
Longbow FCR
මෙය ලොක්හීඩ් මාටින් සමාගම නිෂ්පාදිත ප්‍රහාරක හෙලිකොප්ටර් යානාවකි. ඉරාක් නිදහස් මෙහෙයුමේ දී මෙය තම වැඩ පෙන්වූ බව සඳහන් වේ. ඕනෑම කාලගුණික තත්ත්වයක් යටතේ වුවද භාවිත කළ හැකි පරිදි නිපදවා ඇති යානාවකි. විශේෂිත රේඩාර් පද්ධතියකින් සමන්විතය.
A Size Autonomous under Water Vehicles
මෙය බැලු බැල්මට මිසයිලයක් මෙනි. මෙය භාවිත කරන්නේ දිය යට සිට කෙරෙන පහරදීම වෙනුවෙනි.
(ඉලක්ක)
MK39
ලොක්හීඩ්ලා නිෂ්පාදනය කරනු ලබන අඩු වියදමකින් යුතු යුද උපකරණයකි. සතුරු සබ්මැරීන සොයා ගොස් පහර දීමේ හැකියාව සහ ඒවා සොයා ගැනීම කළ හැකිය.
AEHF
ලොක්හීඩ් මාටින් විසින් සාදන ලද උසස් තාක්ක්‍ෂණයෙන් සහ අධි සංඛ්‍යාන සහිත චන්ද්‍රිකා යානාවකි. එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂාවේ තීරණාත්මක අංශයක් වන්නේ මිලිටරි චන්ද්‍රිකා සන්නිවේදන භාවිත කිරීම් සහ පද්ධතිය. ඉතා නැවැරදි දත්ත ලබා දෙන අතර, යුද බිමෙහි රැඳී සිටිමින් කටයුතු කරන යුද භටයන් ආරක්ක්‍ෂිත කර ගැනීම මෙහි ප්‍රධාන ඵලය වේ. අතීශය දියුණූ තාක්ක්‍ෂණයෙන් යුතුව නිපදවූ මෙම චන්ද්‍රිකා පද්ධතිය ගෝලීය ආරක්ක්‍ෂාවට වඩා ප්‍රයෝජන යැයි සඳහන් වේ.
මේච්චර මිලක්
ලොක්හීඞ් මාටින් ලාගේ F-16 Block 70/72 ප්‍රහාරක ජෙට් යානාවක මිල සඳහන් වන්නේ ඩොලර් මිලියන 64 ක් වශයෙනි.
F35A ප්‍රහාරක ජෙට් යානාවෙහි මිල ඩොලර් මිලියන 77.9 ක් වේ.
ලොව මිල අධිකම ප්‍රහාරක ජෙට් යානාව ලෙස වාර්තා සඳහන් කර තිබුණේ ලොක්හීඩ් මාටින්ලාගේ F35B සහ F35C ත්35ක් ප්‍රහාරක ජෙට් යානාය. පිළිවෙලින් F35C ජෙට් යානය - ඩොලර් මිලියන 117.3 ක් ලෙස සඳහන් වන අතර F35B ප්‍රහාරක ජෙට් යානයෙහි මිල, ඩොලර් මිලියන 135.8කි. රුපියල් වලින් ගතහොත් 26790285448 ආසන්නය.
මෙවැනි මුදලක්, රටේ සංවර්ධනයට, මානව ප්‍රජාවේ ප්‍රයෝජනයට හෝ අන්ත දිළිඳු බවින් වෙලී සිටින රටවලට ලබා දෙන්නේ නම් කොච්චර හොඳඳ කියා ඔබට හිතෙන්නට පුළුවනි. නමුත් ලෝකය පවතින විදිය වෙනස් කිරීමට අප කාටවත් බැරිය. මෙය තේරුම් ගත් නිසා දෝ ස්වභාවධර්මයා විසින් මිනිසා පාලනය කිරීමට මෙලෙසින් කොරෝනා වසංගතය දියත් කොට ඇත. එය නැසීමට ලෝකයේ ආයුධ නිපදවන ලොක්හීඩ් මාටින්ලාට තියා කාටවත් තවම නොහැකි වී තිබේ. එයින් පසක් කොට ගත හැකිදේ වන්නේ මිනිසා විසින් අධික පිරිවැයක් දරා මිනිසා නැසීමට අති නවීන ආයුද නිපදවූව ද, මිනිසා රැකීමට තවම මිනිසා විසින් කිසිවක් නිපදවා නැත. කොරෝනා වසන්ගතය මිනිසා හට කියා දුන්නේ ඒ පාඩම නොවේද?
කෙසේ වෙතත් නාසා ආයතනය වෙත අභ්‍යවකාශ යානා සෑදීමට ගිවිසුම් ලබා ඇති, ලොක්හීඞ් මාටින් කෝපරේෂන් අනාගතයේ අභ්‍යවකාශය ජය ගැනීම වෙනුවෙන් බොහෝ ව්‍යපෘති දියත් කර තිබේ. අඟහරු වෙත මිනිසුන් සංචාරය කරවීම එහි එක් අරමුණකි.
පරිවර්තන සටහන :
සඳුන් ගමගේ