ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි
- 2019 දි රේන්ජ් රෝවර් Autobiography වර්ගයේ රථයක මිල රුපියල් කෝටි හතහමාරක් ලෙස සඳහන් විණි.
- අතීතයේදී ලෑන්ඩ් රෝවර් නමින් සමාගමක් නොතිබිණි.
- රෝවර් නමැති බ්‍රිතාන්‍යගේ ස්ථාපිතව තිබූ සමාගම ඇමරිකාවේ විලීස් ජීප් රථයේ ආභාෂයෙන් නිර්මාණය කෙරු රථයක්.
- එදා බ්‍රිතාන්‍ය මහ රැජින පැදවීමට වඩාත් ආසා කළේ ලෑන්ඩ් රෝවර් රථයයි.
- කියුබානු විප්ලවීය නායකයා වූ පිදෙල් කැස්ත්‍රෝ දැඩි ලෙස ලෑන්ඩ්රෝවර් රථවලට ආසා කළ බව සඳහන්.
රේන්ජ් රෝවර් ලෑන්ඩ් කෲෂර් ප්‍රාඩෝ වී 8 රථ ගැන මේ දිනවල අපේ රටේ වැඩි දෙනා කතා වන්නේ අපේ පාර්ලිමේන්තුවේ ඇත්තන්ට නැත්නම් රට කරවන ඇත්තන්ට තීරු බදු රහිතව එවැනි සුපිරි රථ ගෙන්වීමට තීන්දුකර තිබීම නිසයි. කෝවිඩ් වසංගතය හමුවේ දැඩි මුල්‍ය අර්බුදයකට ශ්‍රී ලංකාව පත්වී සිටින මොහොතක දිළිදු රටක්වන බංග්ලාදේශයෙන් පවා ණය සහන ලබා ගැනීමට පෙළැඹී ඇති මොහොතක මෙලෙසින් කෝටි ගණන් වැය කර වාහන ගෙන්වීමට ගත් තැත ගැන බොහෝ දෙනාගේ විවේචනයට ලක් වුණා. මෙම විවේචන හමුවේ සුපිරි වාහන ගෙන්වීම තාවකාලිකව නවතා ඇති බවටත් පුවත් පළ වුණා. මෙලෙසින් සුපිරි රථ ගැන රටේම අවධානය යොමු වූ මොහොතක අද අප කතා කරන්නට සුදානම් වන්නේ අප රටේ බොහෝ මන්ත්‍රීවරු, ඇමතිවරු, ප්‍රභූ පැලැන්තියේ අය මෙන්ම සල්ලි කෝටි ගණනින් ඇති අය භාවිත කරන ‘රේන්ජ් රෝවර්’ සුපිරි රථය සහ එය නිෂ්පාදනය කරන සමාගම ගැනයි. ප්‍රකට සමාගම් ලොව දිනු හැටි විශේෂාංගය වෙතින් අද අප මෙම ‘‘රේන්ජ් රෝවර්’’ ගැන විස්තර දැන ගනිමු.
ලෑන්ඩ් රෝවර්
රේන්ජ් රෝවර් ගැන කතා කීරීමට පෙර අපට ලෑන්ඩ් රෝවර් ගැන කතා කිරීමට සිදු වෙනවා. ඊට හේතුව වන්නේ මෙම රේන්ජ් රෝවර් සුපිරි රථ නිෂ්පාදනය කිරීමේ ආරම්භය ඇතිවූයේ ලෑන්ඩ් රෝවර් සමාගමෙන් වන නිසාය. අපි එහි ඉතිහාසය දෙසට විපරම් කර බලමු.
අතීතයේදී ලෑන්ඩ් රෝවර් නමින් සමාගමක් නොතිබිණි. රෝවර් නමැති බ්‍රිතාන්‍යයේ ස්ථාපිතව තිබූ වාහන නිෂ්පාදන ආයතනය එවකට ඇමරිකානු මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වූ ‘විලීස්’ ජීප් රථයේ ආභාෂය ඇතිව වාහනයක් නිෂ්පාදනය කළේය. එය හැඳින්වූයේ ලෑන්ඩ් රෝවර් යන නමිනි. බ්‍රිතාන්‍යයෙන් ලෝකයට ලෑන්ඩ් රෝවර් නමින් රථයක් නිෂ්පාදනය වුයේ එලෙසින් යැයි කරුණු සඳහන් වෙයි. එදා වෙසෙසින්ම මෙම ලෑන්ඩ් රෝවර් රථ නිෂ්පාදනය වූයේ කටුක රථ මාර්ගවල ධාවනය කිරීම සහ කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිත කිරීම වෙනුවෙනි. ගොවිපළ අයත් වූ බොහෝ දෙනා එවකට භාවිත කළේ මෙම ලෑන්ඩ් රෝවර් රථ බැව් සඳහන් වේ. එනිසාම මෙම ලෑන්ඩ් රෝවර් රථ එදා අලෙවි කෙරුණේ කෘෂිකාර්මික උපාංග සහ උපකරණ අලෙවි වූ ස්ථානවලදීය. පසුව මෙම ලෑන්ඩ් රෝවර් රථ එවකට බ්‍රිතාන්‍යයේ යටත් විජිත වී තිබූ රටවලට අලෙවි කිරීම සිදු කෙරි ඇත. ඉතා දුෂ්කර මාර්ග ඔස්සේ ධාවනය කරවීමට හැකිවීම නිසා බ්‍රිතාන්‍ය යටත් විජිතයට නතුව තිබූ රටවල ජනතාවට මෙය ඉස්තරම්ම වාහනයක් වුණි.
එදා ශ්‍රී ලංකාව වැනි රටවලට ලෑන්ඩ් රෝවර් රථය ඉස්තරම්ම වාහනයක් බවට පත්වූයේ මෙරට මංමාවත් නොදියුණු තත්ත්වයේ පැවතීම නිසාය.
එදා නොදියුණු තත්ත්වයේ පැවැති බොහෝ රටවල ජනතාව මුල්වරට දුටු රථය වුවේ මෙම ලෑන්ඩ් රෝවර් රථයයි.
එදා ලෑන්ඩ් රෝවර් රථය කෙතරම් හොඳ වුවත් එය ධාවනය කර ඇත්තේ ප්‍රධාන මාර්ගවල දී නම් නොවෙයි. මේ තත්ත්වය වෙනස් කර ගැනීමට රෝවර් රථයට හැකිවූණේ හැටේ දශකය එළැඹීමත් සමගයි. මේ සියල්ල සිදුවීමට කලින් ලෑන්ඩ් රෝවර් බිහිකළ මව් සමාගම වන බ්‍රිතාන්‍යයේ රෝවර් සමාගමේ අතීතය මොන වගේද කියා සොයා බලමු.
ද රෝවර් කම්පැනි
බ්‍රිතාන්‍යයේ මෝටර් රථ නිෂ්පාදන සමාගමක් ලෙස රෝවර් කම්පැනි ආරම්භ වුයේ 1878 වසරේදීය. එනම් අවුරුදු 143 කට පෙරදී ජෝන් කෙම්ප් ස්ටාර්ලේ සහ විලියම් සට්න් යන කර්මාන්තකරුවන් දෙදෙනා විසිනි. ජෝන් කෙම්ප් ස්ටාර්ලේ උපත ලැබුවේ 1855 දෙසැම්බර් 24 දාය. රෝවර් සමාගම හෙවත් කර්මාන්තශාලාව බිහිකළ පසු මුලින්ම නිෂ්පාදනය කළේ පාපැදිය. පා පැදි නොහොත් බයිසිකලයට නව්‍යතාවයක් ලබා දීම රෝවර් කර්මාන්තශාලාවේ අභිප්‍රාය විණි. නුතන බයිසිකලයේ එනම් නවිකරණය කරන ලද පාපැදියේ පියා ලෙස ඔහු සඳහන් කළ හැකිය.
ජෝන් කෙම්ප්ගේ පියා උද්‍යානකරුවකු වූ අතර මව මේරි ඇන් රැකියාවක් නොකළාය. 1872 දී මේ පවුල කවන්ට්‍රි පළාත වෙත ගොස් තිබේ. ජෝන් කෙම්ප් ස්ටාර්ලේගේ මාමා සිටියේ කවන්ට්‍රි නගරයේ වූ අතර ඔහු පාපැදි නිෂ්පාදකයකු විය. මාමාගේ උදවුවට එක්වූ කෙම්ප් ස්ටාර්ලේ එහි සිටි විලියම් හිල්මන් සමග එක්වී ‘එරියල්’ නමින් මාමා නිෂ්පාදනය කල බයිසිකල් සැදීමට උදවු දුන් බව සඳහන් වේ.
ඉන් පසුව විලියම් සටන් එක්කාසු කරගෙන 1877 දී ස්වාර්ලේ ඇන්ඩ් සටන් නමින් බයිසිකල් නිෂ්පාදන ආයතනයක් පටන් ගෙන ඇත. පෙරටත් වඩා අලුත් මුහුණුවරක් පා පැදියට ලබා දීමට මේ දෙදෙනා සමත් වුණි. ඉන්පසුව රෝද තුනේ බයිසිකල් (ට්‍රයිසිකල්) නිෂ්පාදනයට ඔවුන් පෙළැඔ තිබේ. ඒවා නම් වූයේ රෝවර් නමිනි. 1885 පමණ වන විට ස්ටාර්ලේ ප්‍රකට වූයේ වඩාත් සුව පහසුවට සහ ආරක්‍ෂාකාරි විදියට පදවාගෙන යා හැකි පරිදි බයිසිකල් නිපදවීමට පෙළැඹි නිසාය. ලෝකයට අලුත් රිද්මයක් ලබා දුන් බව ඔහුගේ නාමය ඉදිරියේ සනිටුහන් විණි. 1889 දී මෙම සමාගම ජේ.කේ. ස්ටාර්ලේ සහ සමාගම ලෙස නම් වූ අතර 1890 දී රෝවර් සයිකල් කම්පැනි බවට පත්විණි. රෝද දෙකට අලුත් තාලයක් දුන් ජෝන් කෙම්ප් ස්ටාර්ලේ කිසිවෙකු අපේක්‍ෂා නොකළ පරිදි ඉතා අනපේක්‍ෂිත මරණයකට ගොදුරු වූවේය.
ඔහුගෙන් පසු රෝවර් සයිකල් සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂවරයා ලෙස හැරී ස්මිත් පත්වූ අතර ඔහුගේ නායකත්වය යටතේ යතුරුපැදි නිෂ්පාදනය මෙන්ම මෝටර් රථ නිෂ්පාදනය ද ආරම්භ විණි. ස්ටාර්ලේ මිය යාමට ප්‍රථම ඉලෙක්ට්‍රික් කාර් එකක් පවා නිපදවීමට ඔහු කටයුතු යොදා තිබිණි. පසුව එච්.ජේ. ලෝසන් රෝවර් කම්පැනියේ නිෂ්පාදන සුක්කානම අතට ගෙන සිටි අතර ආසන දෙකකින් සමන්විත මෝටර් රථයක් නිෂ්පාදනය කිරීමට සමත් වුණි. කුඩා සිලින්ඩර 8 කින් යුතු 1327 ධාරිතාවයකින් සමන්විත මෝටරයකින් යුතු එය නම් කෙරුණේ රෝවර් 8 නමිනි.
ලෑන්ඩ් රෝවර් රේන්ජ් රෝවර් වුණේ කොහොමද?
බ්‍රිටිෂ් ලේලන්ඩ්, බ්‍රිටිෂ් මෝටර් හෝල්ඩින් සමාගම හා අනුබද්ධ වී ජගුවර් ලෑන්ඩ් රෝවර් සමාගමේ කොටස්කරුවකු බවට පත්වීමෙන් අනතුරුව 1970 දශකයේදී එතෙක් නගරයෙන් පිට ධාවනය වූ ලෑන්ඩ් රෝවර් නගරයට ආ බව කියන්න පුළුවනි. මුලින්ම රෝවර් වූ සමාගම පසුව ලෑන්ඩ් රෝවර් වී 1969 සිට 1978 දක්වා බ්‍රිටිෂ් ලේලන්ඩ් ලෙසත් 1978 සිට 2012 දක්වා ලෑන්ඩ් රෝවර් ලිමිටඩ් ලෙසත් ඉනික්බිතිව 2013 දී ජගුවර් ලෑන්ඩ් රෝවර් වී අද දක්වා සමාගම විකාශය වෙමින් පවතී. රේන්ජ් රෝවර් මුලින්ම කළ එළි දුටුවේ 1970 වසර එළැඹීමත් සමගය. ඒ බ්‍රිටිෂ් ලේලන්ඩ් නමින් පැවැති කාලයේදීය. රෝවර් P4 නමින් සුපිරි මෝටර් කාර් රථ සිරිස් එකක් රෝවර් කම්පැනි 1949 සිට 1964 දක්වා දියත් කර තිබූ අතර එම සුව පහසු කාර් සැළසුම නිර්මාණය කළේ ගෝර්ඩන් බැෂ්ෆෝර්ඩ් විසිනි. රෝඩ් රෝවර් ව්‍යාපෘතිය ලෙස එය නම් කළ අතර 1969 වසරේදී රේන්ජ් රෝවර් සැළැස්ම අවසන් කර තිබිණි. රේන්ජ් රෝවර් රථ නිර්මාණ කාණ්ඩයේ පළමු පරම්පරාව 1970 න් ආරම්භ විණි. 1970 නිර්මාණය කළ V8 අපූර් එංජිමේ ධාරිතාවය නිසා පැයට සැතපුම් 100 ක වේගයෙන් එය ධාවනය කරවීමට හැකිවිය. රේන්ජ් රෝවර් යනු බ්‍රිතාන්‍ය මෝටර් රථ නිෂ්පාදන ඉතිහාසයේ ස්වර්ණමය සළකුණ ලෙස හැදින්වේ. Car for all reasons (ඕනෑම තැනකට සරිලන ලෙස භාවිත කළ හැකි රථය ලෙස) එය සඳහන් වුණි. රේන්ජ් රෝවර් සුපිරි මෝටර් රථය සැළසුම් කළ අපුරු නිර්මාණකරුවා වන්නේ චාල්ස් ස්පෙනිසර් කිංග්ය. ස්පෙනිසර් යන්නෙහි තේරුම පරිපාලකයා යන්නය. එ අනුව චාල්ස් ස්පෙන්සර් තමාගේ නාමයට සැබෑ අරුතක් දී තිබේ. රෝවර් කම්පැනි සමාගමට එක්වීමට පෙර රෝල්ස් රොයිස් සමාගමේ ආධුනික පුහුණුව ලැබුවෙකි. එවකට රෝවර් ආයතනය බාරව සිටියේ ඔහුගේ මාමා කෙනෙකු වූ මොරිස් සහ ස්පෙන්සර් වික්ස් යන දෙදෙනා හටය. කාලයාගේ ඇවෑමෙන් කිංග් එහි ප්‍රධාන ඉංජිනේරුවා බවට පත්වුණි. රෝවර් බ්‍රිටිෂ් ලේලන්ඩ් මෝටර් කම්පැනි බවට පත්වීමෙන් පසුවද මේ කිංග් එම සමාගමට ලබා දුන්නේ මහාර්ඝ සේවයකි. රේන්ජ් රෝවර් ගැන එලෙස කරුණු විස්තර කරන අතරේ ලෑන්ඩ් රෝවර් හා රේන්ජ් රෝවර් ගැන අපුරූ විස්තර ටිකක් අපි දැන ගනිමු.
රේන්ජ් රෝවර් ලෑන්ඩ් රෝවර් හා බැඳුණූ රජ පවුල එදා ලෑන්ඩ් රෝවර් සමාගම නිෂ්පදානය කළ රථවලට බ්‍රිතාන්‍ය රාජකීය රජ පවුල බොහෝ සෙයින් ඇලුම් කළ බව කියන්න පුළුවනි. එදා මුල් කාණ්ඩය ලෙස නිෂ්පාදිත රථවලදී මුලින්ම එය ප්‍රදානය කර ඇත්තේ හයවැනි ජෝජ් රජුටය. 1980 දී තවත් සුපිරි රථයක් බකිංහැම් මාළිගයට පරිත්‍යාග කළ බැව් සඳහන් වේ. එළිසබත් මහ රැජිනගේ 90 වැනි ජන්ම දිනය සැමරීම වෙනුවෙන් සුපිරි රේන්ජ් රෝවර් රථයක් ප්‍රදානය කළ බව ද සඳහන් වේ.
රේන්ජ් රෝවර් මුල් සැළසුම කරද්දී මෙච්චර සුපිරි වේය කියා චාල්ස් කිංග් හිතුවේ නැත.
1945 දී චාල්ස් ස්පෙන්සර් කිංග් හට අවශ්‍ය වී තිබුණේ රේන්ජ් රෝවර් භාවිතයේ දී වඩාත් ලාභදායි රථයක් ලෙස නිර්මාණය කිරීමටය. පසුව ඔහු එම නිර්මාණ සැළැස්ම කළේ ඒ අනුව වුවද වැඩිකල් නොගොස් රේන්ජ් රෝවර් ලොව සුපිරි පංතියේ භාවිතයට ගැනෙන රථයක් ලෙස නිෂ්පාදන ලෝකයට පිවිසියේය. එලෙසින් ධනපති පංතියට පමණක් සීමාවූ රථයක් බවට රේන්ජ් රෝවර් පත්වීම ගැන චාල්ස් ස්පෙන්සර කිංග් කනස්සල්ලට පත්ව සිටියේය.
1976 දී ලෑන්ඩ් රෝවර් දශලක්‍ෂයක්
රේන්ජ් රෝවර් කළින් කළට වඩ වඩාත් සුපිරි වෙමින් ඉදිරියට එද්දි ලෑන්ඩ් රෝවර් 1976 දී දශලක්‍ෂයක් පමණ නිෂ්පාදනය කර තිබේ.
දිය ගොඩ සෑම තැන ලෑන්ඩ් රෝවර්
සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල රෝද වලින් සමන්විත ලෑන්ඩ් රෝවර් ජීප් රථය මොන්ස්ටර්ට්‍රක් 1950 දශකයේදී ලෝකයේ ප්‍රථම වරට නිෂ්පාදනය වූයේ මඩවගුරුවල පවා ධාවනය කරවීමට හැකි පරිදිය. එමෙන්ම ෆ්ලෝටින් වර්සන් එක ලෙස දියෙහි පවා ගමන් කළ හැකි රථය 1980 දී ලෝකයට හඳුන්වා දුන්නේ 40 වැනි රේන්ජ් රෝවර් උපන් දිනය වෙනුවෙනි.
රෙන්ජ් රෝවර් 1970 නිර්මාණය
ලුවර් කෞතුකාගාරයට
1970 හඳුන්වා දුන්න රේන්ජ් රෝවර් රථය පිළිගැනෙන්නේ හොඳම මෝටර් රථ ඩිසයින් එකක් ලෙසයි. මෙම මෝටර් රථය පැරීසියේ ලුවර් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.
ජෙම්ස් බොන්ඩ් චිත්‍රපට සඳහා ලෑන්ඩ් රෝවර් අලුත් සංකල්පයක්.
ලෑන්ඩ් රෝවර්ලා ජේම්ස් බෝන්ඩ් චිත්‍රපට සඳහා සුපිරි සංකල්පයේ (SUV) රථයක් 2015 දී හඳුන්වා දුන්නේය.
මහ රැජිණගේ ප්‍රියතම වාහනය
බ්‍රිතාන්‍ය මහ රැජිණ ලෑන්ඩ් රෝවර් ජීප් රථය පැදවීමට වඩාත් ප්‍රිය කළ බව වාර්තාවල සඳහන් වේ.
වින්ස්ටන් චර්චිල්ගේ
80 වැනි උපන් දිනයට තෑග්ගක්
බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරයකු වූ දෙවැනි ලෝක යුද්ධය සමයේ වින්ස්ටන් චර්චිල්ගේ 80 වැනි උපන් දිනය සැමරීම වෙනුවෙන් ලෑන්ඩ් රෝවර් අලුත් මාදිලියේ නිෂ්පාදන පෙළක් 1954 දී දියත් කර තිබිණි. 2012 දී මෙම රථය පවුම් 129,000 කට වෙන්දෙසි වී තිබේ.
බොබ්මාලිගේ 70 වැනි
උපන් දිනයට අපූරු වැඩක්
ලෝ ප්‍රකට රෙගේ ශෛලියේ ගායන රජු වූ බොබ් මාලේ 70 වන උපන් දිනය යෙදෙන විට ජීවතුන් අතර නොසිටියේය. ජීවත්ව සිටිය දී ඔහුගේ ප්‍රියතම රථය වූවේ ලෑන්ඩ් රෝවර් තෙවැනි කාණ්ඩයට අයත් වූ රථයකි. එය නිල් පාටට හුරු වර්ණයෙන් යුතු විය. බොබ් මාලේගේ භාවිතයෙන් පසුව එම රථය අබලන් සුන්බුන් ගොඩක් බවට පත්විණි. ඔහුගේ නිවසේ එය අබලන්ව තව දුරටත් ඇති බව ලෑන්ඩ් රෝවර් සමාගම දැනගත් අතර එම රථය නැවත එකලස් කොට වර්ණ ගල්වා නවීනතම හැඩයක් ලබා දී බොබ්මාලේගේ 70 වැනි ජන්ම දිනය ඔහුට ගරු කිරීමක් වශයෙන් එය හඳුන්වා දුන්නේය. එම රථය බොබ්මාලේ කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.
අසහාය නායක පිදෙල් කැස්ත්‍රෝගේ
ප්‍රියතම වාහනය ලෑන්ඩ් රෝවර්
පිදෙල් කැස්ක්‍රෝ යනු කියුබානු විප්ලවය සමයේ දී සිට ලැන්ඩ් රෝවර් රථවලට ප්‍රියකළ චරිතයක් විය. ලෑන්ඩ් රෝවර්වලට ප්‍රියකළ ලොව ලොකුම රසවතා ඔහු යැයි සඳහන් වේ. ඔහු භාවිත කළ රථය ‘‘හමානාහි’’ ඇති කියුබානු විප්ලවයේ සමරු රැගත් කෞතුකාගාරයේ තබා ඇත.
හැබැයි පාඨක ඔබ එකත් මතක තබා ගන්න. බොබ්මාලේ, මහරැජිණ, පිදෙල් කැස්ත්‍රෝ පවා භාවිත කළේ මහා ධන විනාශයක් වැය කිරීමට සිදු වූ රථ නම් නොවේ. ලෑන්ඩ් රෝවර් රථය යනු ලොව වඩාත්ම ආරක්‍ෂාකාරි රථ නිර්මාණය ලෙස සැළකේ. ලෑන්ඩ් රෝවර් පවුලේ සාමාජිකයකු වී ලෝකය ජයගත් රේන්ජ් රෝවර් යනු ලොව මෙතෙක් නිපදවා ඇති සුපිරි රථ නාමයන්ට අයත් ඉහළින්ම ඇති රථ නාමයකි.
ලෑන්ඩ් රෝවර් රේන්ජ් රෝවර් රථ මාදිලි
රේන්ජ් රෝවර්, Velar, Evoque, ස්පෝර්ට්ස්, Evogue bronze collection, Evoque Hst, ඇතුළු වර්ග කීපයකින් ලෑන්ඩ් රෝවර් රේන්ජ් රෝවර් සමන් විතය. 2021 දී එනම් මෙම වසරේ දී රේන්ජ් රෝවර් රථයක මිල ලෙස සඳහන් වූයේ බ්‍රිතාන්‍ය පවුම් 92,000 සිට ඉහළටය. ලංකා මුදලින් ගතහොත් Evoque (2019) මිල කෝටි තුනක් විය. Velar කෝටි තුනහාමාරක් විය. Sport p400e Hse කෝටි 4 ක් වූ අතර, Vogue SWB කෝටි හතරහාමාරක් ද, Vogue LWB, කෝටි හයහාමාරකි. Auto biography වර්ගයේ රේන්ජ් රෝවර් සුපිරි රථය (2019) කෝටි හතහමාරක් ලෙස මිල සඳහන් වුණි. ඉතින් 2021 අද මිල ඊටත් වඩා වැඩි වී ඇති බව සඳහන් කළ හැකිය.
මෙම සුපිරි රථ භාවිත කරන්නන් අතර ලෝ ප්‍රකට සිනමා හා ගායන තරු මෙන්ම සුපිරි ධනවතුන් සහ ව්‍යාපාරික ලෝකය ජයගත් චරිත බොහෝමයක් වෙති. ඒ අයගේ මනාපය පරිදි ලෑන්ඩ් රෝවර්, රේන්ජ් රෝවර්, සුපිරි රථ නිර්මාණය කිරීම ද තවත් විශේෂත්වයකි. රේන්ජ් රෝවර් යනු සැබැවින්ම ධන කුවේරයන්ගේ තේරීමකි. අපේ සමහර දේශපාලනඥයන් ද රේන්ජ් රෝවර් භාවිත කරන්නේ ඔවුනට සල්ලි තියෙන නිසා විය හැකිය. නැතහොත් සාමාන්‍ය ජනතාවට නොලැබෙන බදු සහන ඒ මහත්මාවරුනට පමණක් ලැබෙන නිසා විය හැකිය.
පරිවර්තන සටහන :
සඳුන් ගමගේ