“ඇත්තටම අපි රෑට කන්නෙ මොනවද” තනූජා ලුම්බිණිගේ කවි පොත |
තනූජා ලුම්බිණි තඹවිට රචිත ‘‘ ඇත්තටම අපි රෑට කන්නෙ මොනවද’’ නමින් කවි පොතක් ඉකුත්දා එළිදැක්වූ අතර මෙහි ආදරය, විවාහය, කූටුම්භ ජීවිතයේ ස්ත්‍රී පුරුෂ භූමිකාව පිළිබඳවත්, සමාජ දේශපාලන කියවීම් සහිත කවි සිතුවිලිත් මෙහි අන්තර්ගත වී තිබේ. මෙය සයුර ප්‍රකාශනයකි.
මෙයට පෙර කිවිඳිය 2016 දී ‘‘කලින් ලිව්වා තෙත සුළං අහුරක්’’ නමින් කවි පොතක්, 2017 දී ‘‘දුඹුරු කොළ මොනරු ලිස්සන පපුව මැද’’ නමින් කවි පොතක් සහ 2020 දී ‘‘තත්තකාර’’ නමින් නවකතාවක් රචනා කර තිබේ.
පද්මිණී ශ්‍රීයාලතාගේ කුලුඳුල් නවකතාව “කල්කාර” |
ප්‍රවීණ කිවිඳියක, කෙටිකතාකාරිනියක වන පද්මිණී ශ්‍රීයාලතා විසින් රචිත කුලුඳුල් නවකතාව පසුගියදා ‘‘කල්කාර’’ නමින් එළි දැක්වුණි. ඉහළ ඌවේ සුන්දර ගම්මානයක පවුල් කීපයක් වටා ගොඩනැගී ඇති මෙම නවකතාවේ විසිවන සියවසේ මුල් භාගයේ උපත ලබන පුංචිරාල නම් චරිතය ප්‍රමුඛව පරම්පරා තුනක සාමාජිකයන් මුහුණ දෙන ආර්ථික, සාමාජයීය සහ දේශපාලන වෙනස්වීම් තුළ, කෘෂිකාර්මික කටයුතුවලින් ජීවනෝපාය මාර්ගය සලසා ගන්නා ගම්වැසියන් හට මුහුණ පෑමට සිදු වන පාරිසරික අභියෝගයන් පිළිබඳව සාකච්ඡා කිරිමට කතුවරිය උත්සාහ දරයි.
වතු දමිළ වැසියන් හා සහයෝගයෙන් මෙන්ම සහජීවනයෙන් ජීවත් වන ගැමියෝ ඔවුන්ගේ දුක්කම් කටොලු පිළිබඳව සානුකම්පිතව වන ආකාරය ද, කුල ගෝත්‍ර උස් පහත් කම් ආදී බෙදීම් හමුවේ ප්‍රේමය, ආදරය, ලිංගිකත්වය යන කාරණා කටයුතුවල දී හැසිරෙන ආකාරය පිළිබඳව ද නිරීක්ෂණාත්මක අක්ෂි ය යොමු කිරීමට කතුවරිය වෑයම් කර තිබේ.
අවසන් වශයෙන් සිය ප්‍රාණය හා සමව ගොවිතැනට ද ගොවි බිම්වලට ද ආදරය කරන ගැමියන් හට සංවර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස ගම්බිම් අහිමි වීම තුළ සිදු වන මානසික බිඳ වැටීම මෑත කාලීනව සිදු කළ උමාඔය ව්‍යාපාරය ආශ්‍රිතව පාඨකයා හමුවෙහි අනාවරණය කිරීමට පද්‍්මිණ ශ්‍රියාලතා කල්කාර නවකතාව හරහා උත්සාහ දරා ඇත. මෙම නව කතාව සයුර ප්‍රකාශනයකි.
සාහිත්‍ය වසන්තය වෙනුවෙන් ගංගා ෂයිනිගෙන් පොත් හතරක් |
ඔබ අහිංසකයි, තාරකා රාත්‍රිය, මීදුම් සේයා, වින්ටේජ් අයිස්, සිනාසී ආ වසන්තේ, පබළු මිණි මුතු, කවියට කඳුළක් වැනි නවකතා විශාල ප්‍රමාණයක් රචනා කළ ප්‍රවීණ නවකතාකාරිනියක වන ගංගා ෂයිනි ගමගේ 2024 සාහිත්‍ය වසන්තය පාදක කරගෙන හේමන්ත සන්ධ්‍යා, සීතල මාරුත, කන්දක් කතාකරයි, නිම් නැති නිම්නය නමින් පොත් හතරක් එළි දක්වා ඇත.
සයුර ප්‍රකාශනයක් වන ‘‘හේමන්ත සන්ධ්‍යා’’ නවකතාව සිය ළමා වියෙහි දී ළමා සිත්හි වීරත්වයක් ඇති කළ වැඩිහිටි පුරුෂයෙකු ජීවිතයේ යම් කාලයකට පසු හමු වීමෙන් අනතුරුව ඇති වන ප්‍රේමයක් මත පදනම් වන පෙම් කතාවකි.
එසේම සයුර ප්‍රකාශනයක් වන ‘‘කන්දක් කතා කරයි’’ නවකතාව මෙතෙක් ලියූ ප්‍රේම කතා වලට වඩා වෙනස් මගක් ගත් නවකතාවකි. එය ළමා වියෙහි බිඳුණු දරුවෙකු ලෙසත්, යොවුන් වියෙහි දී ප්‍රේමය අහිමි වන යුවතියක ලෙසත්, දරුවෙකු සමග විවාහයෙන් පිටමං කෙරෙනා බිරිඳක ලෙසත් දෙවන විවාහය ට දරුවා වෙනුවෙන් සමුදෙන ආදරණීය අම්මා කෙනෙකු ලෙසත් ජීවිතය සොයා ගොස් අවසානයේ එය දිනාගන්නා ගැහැනියකගේ කතාවකි. පොත් ප්‍රදර්ශනයට සමගාමීව තවත් පොත් කිහිපයක් එළිදැකීමට නියමිතයි.
‘‘නිම් නැති නිම්නය’’ කෘතිය යුග දිවිය තුළ ඉතා කුරිරු ලෙස සැමියා විසින් අතැර දැමුණු තරුණ බිරිඳක්, එකී කුළ ගෙදර නැදි මයිලනුවන් විසින් අත් නොහැර ආදරයෙන් රැක බලාගන්නා අනුවේදනීය කතාවකි. එම කෘතිය මෙන්ම ‘සීතල මාරුත’ කෘතියද කර්තෘ ප්‍රකාශන වෙති.
මෙම පොත් ප්‍රදර්ශනයට සමගාමීව තවත් පොත් කිහිපයක් එළිදැකීමට නියමිතය.
කෞශල්‍යා ලක්ෂානි