ලොව වේගවත්ම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව කවුද ?



ලොව වේගවත්ම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව බවට පත්වීම සඳහා බොහෝ කලක සිටම ජැමෙයිකානුවන් සහ ඇමෙරිකානුවන් අතර පවතින්නේ ඉතා තියුණු ද්වන්ද සටනකි. පසුගිය මලල ක්‍රීඩා ලෝක ශූරතාවලි සහ ඔලිම්පික් ක්‍රීඩා උළෙල දෙස බැලීමේදී එය මනාව පිළිබිඹුවේ. ලොව වේගවත්ම ක්‍රීඩකයන් ලෙස හැඳින්විය හැකි ජැමෙයිකාවේ උසේන් බෝල්ට්, යොහාන් බ්ලේක් සහ අසාෆා පවෙල් මෙන්ම ඇමෙරිකාවේ ටයිසන් ගේ, ජස්ටින් ගැට්ලින් සහ ක්‍රිස්ටියන් කෝල්මන්ද කලකට පෙර එම සටනේ ප්‍රබල කොටස් කරුවෝ වූහ. 

මෙවර පැරිස් ඔලිම්පික් තරගාවලියේදීත් වැඩි දෙනාගේ අවධානයට ලක්ව ඇති තරග ඉසව්ව ලෙස ලොව වේගවත්ම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව තෝරාගැනෙන මීටර් 100 පිරිමි සහ කාන්තා ඉසව් හැඳින්විය හැකිය. ඊට හේතුව මෙවරද පෙර වසරවලට නොදෙවෙනි දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් එම තරග ඉසව් සඳහා සහභාගි වීමට සූදානමින් සිටීම හේතුවෙනි. මේ වෙන විට ඔවුහු ඔලිම්පික් උළෙලට සහභාගි වීම සඳහා ඉකුත් වසරේ (2023) හංගේරියාවේ පැවැති මලල ක්‍රීඩා ලෝක ශූරතාවලියේදී දැක්වූ දස්කම් තවදුරටත් මුවහත් කරගෙන නොඉවසිල්ලෙන් බලා සිටිති. 

මෙවර තරග වාරය (2024) තුළ මීටර් 100 පිරිමි ඉසව්වේ හොඳම කාලයන් වාර්තා කර ඇති ක්‍රීඩකයන් 5 දෙනා අතර ජැමෙයිකානුවන් දෙදෙනෙක්, ඇමෙරිකානුවන් දෙදෙනෙක් සහ එක් කෙන්යානු ක්‍රීඩකයෙක්  සිටිති. මීටර් 100 කාන්තා ඉසව්වේ හොඳම කාලයන් වාර්තා කර ඇති ක්‍රීඩිකාවන් 6 දෙනා අතර ඇමෙරිකානුවන් තිදෙනෙක්, ජැමෙයිකානුවන් දෙදෙනක් සහ එක් ශාන්ත ලු‍සියා ක්‍රීඩිකාවක වෙති. එබැවින් මෙවර ඔලිම්පික් උළෙලේදීද ක්‍රීඩා ලෝලීන්ට ලොව වේගවත්ම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව තේරීමේදී ජැමෙයිකාව සහ ඇමෙරිකාව අතර අතිශය තියුණු සටනක් දැක බලාගැනීමට අවස්ථාව උදාවෙනු නොඅනුමානය.

ජුලි මස 26 වැනිදා පැරිස් ඔලිම්පික් උළෙල ආරම්භ වෙයි.

මීටර 100 - 200 තරග පැවැත්වෙන දින


  • මීටර 400

මේ අතර වැඩි දෙනකුගේ අවධානය යොමුවී ඇති තවත් මලල ක්‍රීඩා තරග ඉසව්වක් වෙන මීටර් 400 පිරිමි තරගයේ ජයග්‍රහණය සඳහාද මෙවර ඔලිම්පික් තරගාවලියේදී වැඩි තරගකාරීත්වයක් බලාපොරොත්තු විය හැකිය. ඇමෙරිකාවේ කුවින්සි හෝල් (තත්පර 43.80), කැනඩාවේ ක්රිස්ටෝෆර් විලියම්ස් (තත්පර 44.05), මහා බ්‍රිතාන්‍යයේ මැතිව් හඩ්සන් ස්මිත් (තත්පර 44.07), බොට්ස්වානාවේ බයාපෝ න්ඩූරි (තත්පර 44.10) සහ බෙල්ජියමේ ඇලෙක්සැන්ඩර් ඩූම් (තත්පර 44.15) මෙවර තරග වාරයේදී ඉහළම දක්ෂතා දක්වමින් පැරිස් ඔලිම්පික් උළෙලේ මීටර් 400 පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනාගැනීම සඳහා පොර බදමින් සිටින ක්‍රීඩකයන් අතර ඉදිරියෙන්ම සිටිති.


නෝවා ලයිල්ස් (ඇමෙරිකාව) 

මේ වන විට 27 වැනි වියේ පසුවෙන නෝවා, මෙවර ඔලිම්පික් උළෙලේ මීටර් 100 පමණක් නොව මීටර් 200 ඉසව්වේදී රන් පදක්කම දිනාගැනීමට මාන බලමින් සිටින ක්‍රීඩකයන් අතර පෙරමුණේ පසුවේ. මීටර් 100 ඉසව්ව සඳහා ඔහුගේ ඉහළම පෞද්ගලික දක්ෂතාව තත්පර 9.83 ක් ලෙස සටහන් වෙන අතර 2023 මලල ක්‍රීඩා ලෝක ශූරතාවලියේදී ඔහු එම කාලය වාර්තා කළේය. ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලාබාගැනීම සඳහා පැවැති ඇමෙරිකානු තේරීම් තරගාවලියේදී යළිත් වරක් එම වාර්තාව සම කරමින් මෙවර තරග වාරයේ සිවුවැනි වේගවත්ම කාලය වාර්තා කළ ක්‍රීඩකයා බවට පත්වීමට නෝවා සමත් විය. 

2022 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මීටර් 200 ඉසව්වේ ලෝකඩ පදක්කම් ලාභියා වෙන නෝවා, මෙවර ඔලිම්පික් උළෙලට සහභාගි වෙන්නේ 2023 මලල ක්‍රීඩා ලෝක ශූරතාවලියේදී ත්‍රිත්ව රන් පදක්කම් දිනූ ක්‍රීඩකයකු ලෙසිනි. මේ දක්වා මලල ක්‍රීඩා ලෝක ශූරතාවලීන්හිදී රන් පදක්කම් 6 ක් සහ රිදී පදක්කමක් දිනා ඇති ඔහු, මේ වෙන විට ලෝක මලල ක්‍රීඩා ශ්‍රේණිගත කිරීම්වලට අනුව මීටර් 100 පිරිමි ඉසව්වේ දෙවැනි ස්ථානයේද, මීටර් 200 

පිරිමි ඉසව්වේ පළමු ස්ථානයේද රැඳී සිටින ක්‍රීඩකයාද වේ. 


ක්‍රිස්ටියන් කෝල්මන් (ඇමෙරිකාව) 

විසි අට හැවිරිදි කෝල්මන්, මෙවර තරග වාරයේදී මීටර 100 හොඳම කාලයන් වාර්තා කළ ක්‍රීඩකයන් අතර 5 වැනි ස්ථානයේ පසුවෙන අතර ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලාබාගැනීම සඳහා පැවැති ඇමෙරිකානු තේරීම් තරගාවලියේදී තත්පර 9.86 ක කාලයක් වාර්තා කරමින් ඔහු එම ස්ථානය හිමිකර ගත්තේය. කෙසේ වුවත් ඔහුගේ ඉහළම පෞද්ගලික දක්ෂතාව වෙන්නේ 2019 වසරේ කටාර් රාජ්‍යයේදී පැවැති මලල ක්‍රීඩා ලෝක ශූරතාවලියේ රන් පදක්කම දිනාගැනීම සඳහා ඔහු වාර්තා කළ තත්පර 9.76 කාලයයි. මේ වෙන විට මීටර් 100 පිරිමි ලෝක ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවෙන ඔහු, මලල ක්‍රීඩා ලෝක ශූරතාවලින්හිදී රන් පදක්කම් 3 ක් සහ රිදී පදක්කම් 3 ක් දිනාගෙන ඇත.

 

 


මෙලීසා ජෙෆර්සන් (ඇමෙරිකාව) 

විසි හතර හැවිරිදි ජෙෆර්සන් මෙවර තරග වාරයේදී මීටර 100 සිවුවැනි හොඳම කාලය වාර්තා කළ ක්‍රීඩිකාව වෙන අතර ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබාගැනීම සඳහා වූ ඇමෙරිකානු තේරීම් තරගාවලියේදී තත්පර 10.80 ක කාලයක් වාර්තා කරමින් ඇය එම දක්ෂතාව දැක්වූවාය. එය ඇගේ ඉහළම පෞද්ගලික දක්ෂතාවද වෙන අතර මේ වෙන විට ඇය මීටර් 100 කාන්තා ලෝක ශ්‍රේණිගත කිරීම්හි 19 වැනි ස්ථානයේ පසුවෙන්නීය. ඇය 2022 සහ 2023 මලල ක්‍රීඩා ශූරතාවලීන්හිදී සහ මෙම වසරේ ලෝක සහාය දිවීමේ තරගාවලියේදී රන් පදක්කම් දිනාගත් ඇමෙරිකානු මීටර් 100X4 කාන්තා සහාය දිවීමේ කණ්ඩායම්වල සාමාජිකාවක්ද වූවාය.


ශෙරිකා ජැක්සන් (ජැමෙයිකාව) 

මෙවර තරග වාරයේදී හොඳම කාලයන් වාර්තා කර ඇති ක්‍රීඩිකාවන් අතර වයස්ගතම ක්‍රීඩිකාව වෙන ජැක්සන්, මේ වෙන විට 30 වැනි වියේ පසුවන්නීය. ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබාගැනීම සඳහා වූ ජැමෙයිකානු තේරීම් තරගාවලියේදී තත්පර 10.84 ක කාලයක් වාර්තා කරමින් ඇය එම දක්ෂතාව දැක්වූවාය. කෙසේ වුවත් මීටර් 100 කාන්තා ඉසව්ව සඳහා ඇගේ ඉහළම පෞද්ගලික දක්ෂතාව වෙන්නේ 2023 මලල ක්‍රීඩා ලෝක ශූරතාවලිය වෙනුවෙන් පැවැති ජැමෙයිකානු තේරීම් තරගාවලියේදී ඇය වාර්තා කළ 10.65 ක කාලයයි. මේ වෙන විට ලෝක ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඇය මීටර් 100 කාන්තා ඉසව්වේ දෙවැනි ස්ථානයේද, මීටර් 200 කාන්තා ඉසව්වේ පළමු ස්ථානයේද පසුවන්නීය.

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මීටර් 100X4 සහාය දිවීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගත් ජැමෙයිකානු කණ්ඩායමේ සාමාජිකාවක වූ ජැක්සන්, එම තරගාවලියේ මීටර් 100 කාන්තා ඉසව්වේදී සහ 400X4 ඉසව්වේදී ලෝකඩ පදක්කම් දිනාගත්තාය. ඊට අමතරව 2016 රියෝ ඔලිම්පික් තරගාවලියේදී රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක්ද දිනාගත් ඇය, මේ දක්වා මලල ක්‍රීඩා ලෝක ශූරතාවලීන්හිදී රන් පදක්කම් 4 ක්, රිදී පදක්කම් 4 ක් සහ ලෝකඩ පදක්කම් 3 ක් දිනාගෙන ඇත. ඇය මෙවර ඔලිම්පික් උළෙලට සහභාගි වෙන්නේ 2023 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 100 ඉසව්වේ රිදී පදක්කම සහ මීටර් 200 ඉසව්වේ රන් පදක්කම දිනාගත් ක්‍රීඩිකාව ලෙසිනි. 


කිෂේන් තොම්සන් (ජැමෙයිකාව) 

තවමත් 23 වැනි වියේ පසුවෙන තොම්සන්, මෙවර තරග වාරයේදී මීටර 100 හොඳම කාලය වාර්තා කර ඇති ක්‍රීඩකයා වේ. මෙම වසරේ ජූනි මස 28 වැනිදා පැවැති ජැමෙයිකානු ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේදී වාර්තා කළ තත්පර 9.77 ක කාලය ඔහුගේ හොඳම පෞද්ගලික කාලය බවටද සටහන් විය. මේ වෙන විට මීටර් 100 පිරිමි ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීම්හි 5 වැනි ස්ථානයේ පසුවෙන තොම්සන්, මෙවර ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබාගත්තේ ජූනි මස 27 වැනිදා පැවැති ජැමෙයිකානු සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී තත්පර 9.82 ක කාලයක් වාර්තා කරමිනි. 

 

 

 

 

 

 

 

 

 


ඔබ්ලික් සෙවිලී (ජැමෙයිකාව) 

තවමත් 23 වැනි වියේ පසුවෙන සෙවිලී, මෙවර තරග වාරයේදී මීටර 100 තෙවැනි හොඳම කාලය වාර්තා කර ඇති ක්‍රීඩකයා වෙන අතර, මෙම වසරේ ජූනි මස 28 වැනිදා පැවැති ජැමෙයිකානු ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේදී වාර්තා කළ තත්පර 9.82 ක කාලය ඔහුගේ හොඳම පෞද්ගලික කාලය සම කිරීමක් ලෙසද සටහන් විය. තත්පර 9.88 ක කාලයක් වාර්තා කරමින් 2023 මලල ක්‍රීඩා ලෝක ශූරතාවලියේදී සිවුවැනි ස්ථානය හිමිකර ගත් ඔහු, එම තරගාවලියේ මීටර් 100X4 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගත් ජැමෙයිකානු සහාය දිවීමේ (රිලේ) කණ්ඩායමේ සාමාජිකයකුද විය. මේ වෙන විට ඔහු මීටර් 100 පිරිමි ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීම්හි 6 වැනි ස්ථානයේ පසුවේ.


ෂා’කරී රිචඩ්සන් (ඇමෙරිකාව) 

මේ වෙන විට 24 වැනි වියේ පසුවෙන රිචඩ්සන්, මෙවර තරග වාරයේදී මීටර 100 හොඳම කාලයන් වාර්තා කළ ක්‍රීඩිකාවන් අතර පෙරමුණේ පසුවෙන අතර ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලාබාගැනීම සඳහා පැවැති ඇමෙරිකානු තේරීම් තරගාවලියේදී තත්පර 10.71 ක කාලයක් වාර්තා කරමින් ඇය එම දක්ෂතාව දැක්වූවාය. කෙසේ වුවත් 2023 මලල ක්‍රීඩා ලෝක ශූරතාවලියේ මීටර් 100 රන් පදක්කම දිනාගැනීම වෙනුවෙන් ඇය වාර්තා කළ තත්පර 10.65 ක කාලය ඇගේ ඉහළම පෞද්ගලික දක්ෂතාව ලෙස සටහන් වේ. මේ දක්වා මලල ක්‍රීඩා ලෝක ශූරතාවලින්හිදී රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් දිනා ඇති රිචඩ්සන්, මේ වෙන විට ලෝක මලල ක්‍රීඩා ශ්‍රේණිගත කිරීම්වලට අනුව මීටර් 100 කාන්තා ඉසව්වේ පළමු ස්ථානයේද, මීටර් 200 කාන්තා ඉසව්වේ හයවැනි ස්ථානයේද රැඳී සිටින්නීය.

 

 

 

 

 

 

 

 

 

 


ෆර්ඩිනෑන්ඩ් ඔමන්යලා (කෙන්යාව) 

මේ වෙන විට 28 වැනි වියේ පසුවෙන ඔමන්යලා, මෙවර තරග වාරයේදී මීටර 100 දෙවැනි හොඳම කාලය වාර්තා කර ඇති ක්‍රීඩකයා වෙන අතර ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබාගැනීම සඳහා වූ කෙන්යානු තේරීම් තරගාවලියේදී තත්පර 9.79 ක කාලයක් වාර්තා කිරීමට ඔහු සමත් විය. කෙසේ වුවත් මීටර් 100 පිරිමි ඉසව්ව සඳහා ඔහුගේ ඉහළම පෞද්ගලික දක්ෂතාව වෙන්නේ 2021 වසරේ කෙන්යාවේ නයිරෝබි නුවරදී වාර්තා කළ තත්පර 9.77 ක කාලයයි. මේ වෙන විට මීටර් 100 පිරිමි ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීම්හි තෙවැනි ස්ථානයේ පසුවෙන ඔහු, 2022 වසරේදී පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී රන් පදක්කමක් සහ අප්‍රිකානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී රන් පදක්කම් දෙකක් දිනා ඇත. 


ජූලියන් ඇල්ෆ්‍රඩ් (ශාන්ත ලු‍සියා) 

මේ වෙන විට 23 වැනි වියේ පසුවෙන ඇල්ෆ්‍රඩ්, මෙවර තරග වාරයේදී මීටර 100 හොඳම කාලයන් වාර්තා කළ ක්‍රීඩිකාවන් අතර තෙවැනි ස්ථානයේ පසුවෙන අතර ජැමෙයිකාවේදී පැවැති රේසර්ස් ගෝන් ප්‍රී තරගාවලියේදී තත්පර 10.78 ක කාලයක් වාර්තා කරමින් ඇය එම ස්ථානය හිමිකර ගත්තාය. එය ඇගේ ඉහළම පෞද්ගලික දක්ෂතාවද වෙන අතර මේ වෙන විට ඇය ලෝක ශ්‍රේණිගත කිරීම්වලට අනුව මීටර් 100 කාන්තා ඉසව්වේ සිවුවැනි ස්ථානයේද, මීටර් 200 කාන්තා ඉසව්වේ පස්වැනි ස්ථානයේද පසුවන්නීය. 2022 වසරේදී පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී මීටර් 100 ඉසව්වේ රිදී පදක්කම් දිනාගැනීමටද ඇය සමත් වූවාය. ඇය මෙවර ඔලිම්පික් උළෙලට සහභාගි වෙන්නේ 2023 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 100 ඉසව්ව 6 වැනියා ලෙසත්, මීටර් 200 ඉසව්ව සිවුවැනියා ලෙසත් නිමා කළ ක්‍රීඩිකාව ලෙසිනි.


ජෙසියස් සීයර්ස් (ඇමෙරිකාව) 

තවමත් 22 වැනි වියේ පසුවෙන සීයර්ස් මෙවර තරග වාරයේදී මීටර 100 දෙවැනි හොඳම කාලය වාර්තා කළ ක්‍රීඩිකාව වෙන අතර මෙම වසරේ අප්‍රේල් මස 13 වැනිදා ඇමෙරිකාවේ පැවැති ටොම් ජෝන්ස් අනුස්මරණ මලල ක්‍රීඩා තරගාවලියේදී තත්පර 10.77 ක් ලෙස ඇය එම කාලය වාර්තා කළාය. එය මීටර 100 ඉසව්ව සඳහා ඇගේ ඉහළම පෞද්ගලික දක්ෂතාවද විය. එහෙත් මේ වෙන විට ඇය එම ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීම්හි 99 වැනි ස්ථානයේ පසුවීම සහ ඇමෙරිකානු තේරීම් තරගාවලියේදී කැපී පෙනෙන දස්කම් දැක්වීමට නොහැකි වීම හේතුවෙන් ඇයට මෙවර ඔලිම්පික් උළෙලට සහභාගි වීමට අවස්ථාව හිමි නොවෙනු ඇත.

 

 

 


සටහන

  • ශානුක අරවින්ද