ලෝකයේ උසම ගොඩනැගිල්ලේ මුදුනට නැග්ග යුවතිය


උසම ගොඩනැගිල්ල මුදුනේ

 

‘කොවිඩ් 19’ වසංගතය හමුවේ, අභියෝග රැසකට මුහුණ දුන්නේ ගුවන් යානා සමාගම්ය. ලොව අංක එකේ ගුවන් සේවයක් ලෙස කීර්ති නාමයක් දිනාගත්, එමිරේට්ස් ගුවන් සේවය ද ගැටලු‍ රැසකට මුහුණ දුන්නේය. මේ වනවිට එන්නත්කරණ වැඩසටහන් සාර්ථකව ක්‍රියාත්මක වී, සංචරණ සීමා කෙමෙන් ලිහිල් වෙද්දී, මහා බ්‍රිතාන්‍යය ද ගුවන් මගීන්ට පනවා තිබුණු තහංචි අවම කළේය. තම ගුවන් සේවය ලොව අංක එකේ ගුවන් සේවයක් බව බ්‍රිතාන්‍ය වැසියන්ට පමණක් නොව, ලොව සියලු‍ දෙනාට ඒත්තු ගන්වමින්, එමිරේට්ස් හරි අපූරු රූපවාහිනී වෙළෙඳ දැන්වීමක් නිර්මාණය කළේය. එම දැන්වීම පමණක් නොව, එය පසුපස ඇති අපූරු කතාව ද මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේත් යූටියුබ් නාළිකාව ඔස්සේත්, ලොව ප්‍රධාන පෙළේ පුවත් වෙබ් අඩවි ඔස්සේත් ජනප්‍රිය වී තිබේ. 

 

නිකෝල් සැමියා සමග

 

 
වෙළෙඳ දැන්වීම ආරම්භ වන්නේ එමිරේට්ස් ගුවන් සේවිකාවක බොහොම සැහැල්ලු‍වෙන්, සිනාමුසු මුහුණින් ඇය අතැති පුවරු ප්‍රදර්ශනය කිරීමය. “එමිරේට්ස් ගුවන් සේවය තෝරා ගන්න. එමිරේට්ස් සමඟ එක් වී පියාසර කරන්න. ලෝකයේ ඉහළින්ම ඉන්නවා යැයි ඔබට දැනේවි” ආදී වශයෙන් එම පුවරුවල ලොකු ඉංග්‍රීසි අකුරුවලින් ලියා තිබේ. ගුවන් සේවිකාව පුවරු පෙන්වා අවසන් වෙද්දී, කැමරාව සෙමින් පසුපසට යන්නේ, දැන්වීම නරඹන්නන්ට ඇය සිටින්නේ කොහේදැයි පෙන්වමිනි. එම දසුන් ඩ්‍රෝන කැමරා තාක්ෂණයෙන් රූගත කරන ලද්දකි.   


කැමරාව සෙමින් පසුපසට යද්දී ගුවන් සේවිකාව සිටින්නේ එසේ මෙසේ තැනක නොවන බව පෙනෙයි. ඇය සිටින්නේ ලෝකයේ ඉහළම ස්ථානයටත් ඉහළින් යැයි කීවොත් එය නිවැරැදිය. ඇය සිටින්නේ ලොව විශාලතම කුලු‍නු ගොඩනැගිල්ල වන ඩුබායි හි බර්ජ් කලීෆා කුලු‍න මුදුනේය. බර්ජ් කලීෆා ලොව උසින් වැඩිම ගොඩනැගිල්ල වන්නේ එය අඩි 2,722ක් උසින් යුක්ත නිසාය.   


එය පරිගණක ප්‍රයෝග යොදා ගෙන නිර්මාණය කළ වෙළෙඳ දැන්වීමක් යැයි මුලදී බොහෝ දෙනාගේ අදහස විය. එහෙත්, එය එසේ නොවන බවත්, එම යුවතිය සැබැවින්ම සිටින්නේ බර්ජ් කලීෆා ගොඩනැගිල්ල මුදුනේ බවත් එමිරේට්ස් සමාගම පැවැසීය. ඒ අනුව, දැන්වීම ගැන පමණක් නොව, බය නැතිව බර්ජ් කලීෆා කුලු‍න මුදුනට ගිය යුවතිය කවුරුන් ද යන්න ගැනත් කසුකුසුවක් නිර්මාණය විය.   


එමිරේට්ස් ගුවන් සමාගම ඔවුන්ගේ අපූරු ත්‍රාසජනක වෙළෙඳ දැන්වීම නිර්මාණය කළ ආකාරයත්, ඊට සම්බන්ධ වුණු ගුවන් සේවිකාව ගැනත් තොරතුරු අනාවරණය කළේ ඒ නිසාය. එසේ කළේ වීඩියෝ දසුන් ද ප්‍රසිද්ධියට පත් කරමිනි. තත්පර 30ක් වූ එම වෙ‍ළෙඳ දැන්වීමට වඩා එම වීඩියෝ දසුන් අතිශය ජනප්‍රිය විය.   
වෙ‍ළෙඳ දැන්වීමට සම්බන්ධ වූ යුවතිය එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් සේවිකාවක ලෙස එම ගුවන් සේවයේ නිල ඇඳුමින් සැරැසී සිටියත් ඇය ගුවන් සේවිකාවක නොවෙයි. ඇය 37 හැවිරිදි නිකෝල් ස්මිත් ලු‍ඩ්වික් ය. නිකෝල් ගුවන් කරණම් පුහුණුකාරියකි. ඒ අනුව ඇයට උස ප්‍රශ්නයක් නොවෙයි. ඇය බියක් දක්වන්නේ ද නැත. නිකෝල් ඇමෙරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයේ යුවතියකි. ඇය හොලිවුඩ් සිනමාවට සම්බන්ධ ක්‍රියාදාම (ස්ටන්ට්) නිරූපණ ශිල්පිනියක ලෙස ද කටයුතු කරයි.   

 


‘ස්ටන්ට්’ ශිල්පිනියක වුවත්, ගුවන් කරණම් ශිල්පිනියක වුවත්, බර්ජ් කලීෆා කුලු‍නේ මුදුනේ වේදිකාව මත සිටගෙන ඒ අපූරු වෙළෙඳ දැන්වීමට පෙනී සිටීම නිකෝල්ට අභියෝගයක් විය. ඇය සහ කණ්ඩායම පෙර පුහුණුවීම් රැසක් පැවැත්වීය. කුලු‍න මුදුනට ගිය පසු විශේෂ ආරක්ෂක රැහැන් කිහිපයකට ඇය සම්බන්ධ කෙරුණි. ඒ, දැඩි සුළං තත්ත්වයක් පැවැතියත් එය ඇයට බාධාවක් නොවන ලෙසිනි. ඇය ගුවන් සේවිකා ඇඳුම පැලඳ සිටින්නේ ආරක්ෂක රැහැන් නොපෙනෙන ලෙසිනි. මේ සියල්ල වෙ‍ළෙඳ දැන්වීම ‘හැදුණු හැටි’ පෙන්වන වීඩියෝව හරහා දකින්න ලැබේ.   


නිකෝල් ස්මිත් ලු‍ඩ්වික් ගේ කතාව මේ සැමට වඩා අපූරු එකකි. ජීවිතය ජය ගන්නා හැටි ඇය අපට කියා දෙයි. නිකෝල් පළමු වරට විවාහ වූයේ ඇගේ පාසල් පෙම්වතා සමඟය. එවිට ඇගේ වයස අවුරුදු 20කි. නිකොල්ගේ ජීවිතයට ‘අවාසනාව’ උදා වූයේ ඇයට අවුරුදු 25ක් වෙද්දීය. සැමියා අකාලයේ මියගියේය. නිකෝල්ගේ ජීවිතය කඩා වැටුණි. ඇය දුක් වූවාය. හඬන්න වූවාය. දුක අමතක කරමින් ජීවිතේ විඳීමට ඇය පසුව තීරණය කළාය. ඇය ගුවන් කරණම් ශිල්පිනියක ලෙස පුහුණව ලැබුවාය. ඉන් පසු ඇය ගුවන් කරණම් පුහුණුකාරියක වූවාය. හොලිවුඩ් සිනමා නිර්මාණ රැසක ප්‍රසිද්ධ නිළියන් වෙනුවෙන් ගුවන් කරණම් පෙන්වන්නේ නිකෝල් ය.   
ජීවිතය හරිම පුදුමාකාරය. නිකෝල්ට ජීවිතේ මඟ පෙන්වූ අයකු වූයේ ඇගේ ගුවන් කරණම් පුහුණුකරු ජෙරමි ය. 2011 වසරේ ජුනි මාසයේ ජෙරමි සහ නිකෝල් ගමන් කළ මෝටර් රථය මාරක අනතුරකට ලක් විය. රතු එළිය නොතකා ධාවනය වූ තවත් මෝටර් රථයක් වේගයෙන් පැමිණ ජෙරමි සහ නිකෝල් සිටි මෝටර් රථයේ හැපිණි. ජෙරමි, එම ස්ථානයේදීම මියගියේය.   


අනතුරින් නිකෝල් බරපතළ ලෙස තුවාල ලැබුවාය. ඇගේ උකුල් අස්ථිය, කශේරුකාව, ඉල ඇට බිඳී ගියේය. මොළයට තුවාල සිදුවිය. අනතුරින් පසු රෝහලට ගෙනා නිකෝල් සිටියේ මියගොසිනි. ඒත් වෛද්‍යවරුන් උත්සාහය අත් හැරියේ නැත. ඇගේ බිඳුණු සිරුර සම්බන්ධ කිරීමට වෛද්‍යවරුන් යකඩ තහඩු ඇණ යොදා ගත්හ. නිකොල් යළි දෙපයින් නැගී සිටීම ගැන වෛද්‍යවරුන් සැක පළ කරන්න විය.   


ඒත් නිකෝල් ද උත්සාහය අත්හැරියේ නැත. ඇය මියයෑම ප්‍රතික්ෂේප කළාය. කායික සහ මානසික වශයෙන් ඇයට ප්‍රතිකාර අවශ්‍ය විය. ඇයට ඒවා නොඅඩුව ලැබුණි. වේදනාව ඉවසා ඇය කෙසේ හෝ යළි දෙපයින් නැගිට්ටාය. ඇගේ මුළු සිරුරම රිදුම් දෙන්නට විය. ඇය උත්සාහය අත්හැරියේ නැත. ඇවිදින්න පටන් ගත්තාය. ඇයට ශක්තියක් වූයේ ඇගේ හොඳම මිතුරා ඩේවිඩ් ජූනියර් ලු‍ඩ්වික් ය. අවසානයේ ඔහු ඇගේ සැමියා විය. නිකෝල් මේ සියල්ල පැවැසුවේ, වෙ‍ළෙඳ දැන්වීමෙන් පසු ජනප්‍රිය වීමත් සමඟ ගල්ෆ් ටයිම්ස් පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. ඇත්ත. අද එමිරේට්ස් වෙ‍ළෙඳ දැන්වීම නිසා නිකෝල් ලොව කාගේත් අවධානයට ලක් වී අවසන්ය. ඇය ලොව උසම ගොඩනැගිල්ල මුදුනට ගොස් දැන්වීමට පෙනී සිටියාය. ඒත් නිකෝල්ට මෙය තවත් එක් වික්‍රමයක් පමණි. ඊට හේතුව, දුක් කරදර මැද ජීවිතය ජය ගනිමින් ඇය ඇගේ ජීවිතයේ මුදුන සොයා තරණය කළ බැවිනි.

 

ලු‍සිත ජයමාන්න   
‘ගල්ෆ් ටයිම්ස්’ ඇසුරිනි

 

දැන්වීමට පෙනී සිටි අයුරු